පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළට

පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළට

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 10,000 සිට රුපියල් 12,500 දක්වා වැඩි කිරීම සඳහා සේවකයන්ගේ අවම වේතන පනත් කෙටුම්පතේ තුන්වැනි වගන්තිය සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.

මෙයට අමතරව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම දෛනික වැටුප රුපියල් 400 සිට 500 දක්වා වැඩි කිරීමට අදාළ නීති සංශෝධන සඳහාද කටයුතු කෙරේ.

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ජාතික අවම වැටුප ඉහළ නැංවීමට අදාළ පනත් කෙටුම්පත කම්කරු අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අද (7) සාකච්ඡාවට ලක්විය.

එම උපදේශක කාරක සභාව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (7) රැස්විය.

පුද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වැටුප සහ අවම දෛනික වැටුප ඉහළ නැංවීම සඳහා සේවකයන්ගේ අවම වේතන පනතේ තුන් වැනි වගන්තිය සංශෝධනය කිරීමට අපේක්ෂා කෙරේ

මෙම නීති කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය මගින් පනවා ඇති කිසිදු තහනමකට හෝ සීමා කිරීමට යටත් නොවන බව හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන බවට නීතිපතිවරයාගේ ව්‍යවස්ථාපිත සහතිකය යොමුකර ඇති බවත් ඒ අනුව එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කිරීම පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු වූ බවත් පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.