කම්කරු විරෝධතාවට පසු නුවරඑළියේ වත්තක අගුලු ගලවයි (VIDEO)

වසංගත ආසාදිතයන් හමුවීම නිසා මාසයකට ආසන්න කාලයක් හුදකලා කර තිබු වතු කම්කරුවන්ට කිසිදු සහනයක් නොලැබුන බවට චෝදනා කරමින්
උද්ඝෝෂණයක් දියත් කළ දිනට පසුදාම එම ප්‍රදේශය හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

නුවර එළිය, පූඬළුඔය ඩන්සිනන් වත්තේ පන්සීයකට අධික වතු කම්කරුවන් පිරිසක් ජුලි 6 අගහරුවාදා එම වතු යායේදී විරෝධතා දක්වා තිබුනේ හුදකලා කාලය තුලදී රජය විසින් තමන්ට කිසිදු සහනයක් ලබා නොදුන් බවට චෝදනා කරමිනි.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වු පුද්ගලයන් කීප දෙනෙකු පමණක් හමුවීම නිසා ජුනි 10 දින සිට තම වතු යාය හුදකලා කර තිබු පවසන විරෝධතාකරුවන් තව දුරටත් අවධාරණය කර තිබුනේ, පසුව පී.සී. ආර් පරීක්ෂණ 150 ට අධික ප්‍රමාණයක් සිදු කර තිබුනත් කිසිදු ආසාදිතයකු වාර්තා නොවු බවයි.

පූඬළුඔය ඩන්සිනන් වත්තේ ජීවත් වන පිරිසෙන් වැඩි දෙනෙක් දෛනික ආධායම් ලබන තේ කම්කරුවන් බවත්, පිරිමි පුද්ගලයන් නුවර එළිය නගරයට ගොස් කුලී වැඩක නියැලී දෛනික ආදායමක් සොයා ගන්නා පිරිස් බවත් පවසන ගම් වැසියන් සදහන් කර තිබුනේ, මාසයකට ආසන්න කාලයක් ගම්මානය හුදකලා කිරීම නිසා කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව තමන් දැඩි පීඩනයකට ලක්ව සිටින බවයි.

වසංගත තත්වය හමුවේ හුදකලා කරන ප්‍රදේශ වලට රජය විසින් ලබා දෙන කිසිදු සහනාධාරයක් හෝ අඩු ආදායම්ලාභින්ට ලබා දුන් රුපියල් පන් දහසේ දීමනාව කිසිවෙකුටත් හිමි නොවු බව පැවසු ඔවුන් රජයෙන් දැඩිව ඉල්ලා තිබුනේ පූඬළුඔය ඩන්සිනන් වත්ත හුදලකා බවින් ඉවත් කරන ලෙසයි.

ජුලි 07 බදාදා උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බලප්‍රදේශයේ ඩන්සිනන් ග්‍රාම නිලධාරී වසමේ මැද කොටස හුදකලා බවින් මුදා හරින බව රජය නිවේදනය කර තිබේ.

(ද ලීඩර්)