මහින්ද ජයසිංහ අත්අඩංගුවට ගැනීමට විරෝධය

mahinda-jayasinghe

මහින්ද ජයසිංහ සංජීව බණ්ඩාර ඇතුළු වෘත්තීය සමිති හා දේශපාලන කි‍්‍රයාකාරිකයින් නිරෝධායන නීති මුවාවෙන් අත්අඩංගුවට ගැනීම හෙළා දකින බව ලංකා ගුරු සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, ශී‍්‍ර ලංකා ජාතික විදුහල්පති සංගමය, පුහුණු හා විද්‍යාපීඨ උපාධිධාරී ගුරු සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය, ලංකා ප‍්‍රගති ගුරු සංගමය, ශී‍්‍ර ලංකා ජාතික ගුරු සංගමය විසින් නිකුත් කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, මුතුරාජවෙල පරිසර කලාපය පිළිබඳ උද්ඝෝෂණයකට සම්බන්ධවී සිටි ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ සහෝදරයාව අත්අඩංගුවට ගැනීම සහ කොළඹ ඉංජිනේරු සංස්ථාවේ සේවකයින්ගේ වැටුප් නොගෙවීමට එරෙහි වෘත්තීය කි‍්‍රයාමාර්ගයට සහය පළ කරමින් උද්ඝෝෂණයේ යෙදීම හේතුවෙන් ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ලේකම් සංජීව බණ්ඩාර සහෝදරයා සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ කැඳවුම්කරු දුමින්ද නාගමුව සහෝදරයා ඇතුළු තිදෙනෙක් සමග සත්‍යග‍්‍රහයේ නිරත දෙදෙනා ද අත්අඩංගුවට ගැනීමත්, ගොවි උද්ඝෝෂණයකට සහභාගි වූ සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න සහෝදරවරු අත්අඩංගුවට ගැනීමත් අප දැඩි පිළිකුලින් යුතුව හෙළා දකිමු.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් 2021.07.06 දින නිකුත් කළ ලිපියකට අනුව නිරෝධායන නීතීන්ට මුවා වී මෙම අත්අඩංගුට ගැනීම් සිදුකර ඇත. කෝවිඞ් 19 නිරෝධායන නීතීන්ට මුවා වී මෙලෙස අරගලවල නිරත වෘත්තීය සමිති හා දේශාපලන කි‍්‍රයාධරයන් මර්දනය කිරීම බරපතල ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයවකි.

ජනතාවට උද්ඝෝෂණ කිරීමට සිදුව ඇත්තේ ආණ්ඩු ජනතා ගැටලූ විසඳීමට කටයුතු නොකිරීම නිසාය. උද්ඝෝෂණ සහ ජනතා අරගල නැවැත්වීමට අවශ්‍ය නම් ආණ්ඩුව කළ යුත්තේ එම ගැටලූ විසඳීමට කටයුතු කිරීමය. එසේ නොමැතිව ජනතා ගැටලූ දිනෙන් දින උත්සන්න වෙමින් පැවතියදී එම ගැටලූ විසඳීමට බලකරමින් උද්ඝෝෂණවල නිරත වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ මර්දනකාරී පිළිවෙත කි‍්‍රයාවට නැගීමකි.

මෙම තත්වය දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින පහත වෘත්තීයස සමිති ආණ්ඩුවට ප‍්‍රකාශ කර සිටින්නේ කෝවිඞ් 19 නිරෝධායන නීතීන්ට මුවා වී ජනතාවගේ විරෝධය පෑමේ හා උද්ඝෝෂණය කිරීමේ අයිතිය උල්ලංඝණය නොකරන ලෙසත්, උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කිරීමේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නියමයන් වහා අකුලා ගන්නා ලෙසත්ය.