ඉංජිනේරු සංස්ථා සේවකයන් වෙත එල්ලකරණ මර්ධනය වහා නවතනු

ඉංජිනේරු සංස්ථා සේවකයන් වෙත එල්ලකරණ මර්ධනය වහා නවතනු

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ දිගු කාලයක සිට නියමිත දිනට වැටුප් නොගෙවීම, දීමනා ලබා නොදීම, EPF/ ETF බැර නොකිරීම, ඇතුළු ප්‍රශ්න ගණනාවක් පැවති අතර ඒවාට විසඳුම් ලබා දීමට කටයුතු කරන ලෙස අප වෘත්තීය සමිතිය ඇතුළු අනෙකුත් වෘත්තීය සමිති මෙන්ම පොදු සේවකයන් ද දිගින් දිගටම බලපෑම් කරන ලදී.

එහෙත් මේ දක්වාම එම ගැටළු වලට විසඳුම් ලබා දීමට ආණ්ඩුව මැදිහත් නොවූ අතර ඒවා තවදුරටත් තීව්‍ර කරමින් කටයුතු කරන ලදී. දේශපාලන පත්වීම් ලබාදීම, සුදුසුකම් නොමැති පුද්ගලයන්ට උසස්වීම් ලබාදීම, අභ්‍යන්තර විගණන අංශය දේශපාලන කාර්යාලයක් බවට පත් කිරීම හරහා මෙම ප්‍රශ්න තව තවත් උග්‍ර කරවන ලදී. මෙයට එරෙහිව සංස්ථා සේවකයන් විටින් විට විවිධ ක්‍රියාමාර්ග ගත් අතර වෘත්තීය සමිති විසින් පරිපාලනයට කළ පැහැදිලි කිරීම් බීරි අලින්ට වීණා වැයීමක් විය.

අද වන විට සේවකයන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති අතර ඉදිරියේදී තවත් සේවකයන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට මේ වන විටත් පිඹුරු පත් සකස් කරමින් සිටි. මෙම තත්වය අද වන විට සේවකයන් කිහිපදනෙකෙුගේ අත්අඩංගුවට ගැනීම දක්වා වර්ධනය වී ඇත.

ආණ්ඩුවේ මෙම මර්ධනීය ක්‍රියාවලිය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර අත්අඩංගුවට ගත් සියලූම දෙනා වහාම නිදහස් කරන ලෙසද බලකරමු. තවද සේවකයකුට ඇති වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වයේ අයිතියට කොරෝනාවට මුවාවී අත තැබීමට උත්සාහ නොකරන ලෙසද රාජ්‍ය ඉංජනේරු සංස්ථා සේවක සංගමය අවධාරණය කර සිටී.