ජනමාධ්‍යවේදීන්ගේ පුද්ගලික තොරතුරු එකතු කිරීම නවතන ලෙස ඉල්ලයි

ජනමාධ්‍යවේදීන්ගේ පුද්ගලික තොරතුරු එකතු කිරීම නවතන ලෙස ඉල්ලයි

ජනමාධ්‍යවේදීන්ගේ පුද්ගලික තොරතුරු ලබාදෙන ලෙස සිදුකරන බල කිරීම් සම්බන්ධව බාධා වැළැක්වීමට කටයුතු කරන ලෙසත් ඔවුන්ට තම මාධ්‍ය කටයුතු නිදහස්ව හා ස්වාධීනව කරගෙන යෑමට අවශ්‍ය පසුබිම සකස් කරන ලෙසත් මාධ්‍ය සංවිධාන එකතුව වන මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන් ගේ සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, දමිළ මාධ්‍ය සංසදය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් පොලිස්පතිවරයා ඉල්ලා සිටිමින් ලිපියක් යවා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, විධිමත් නොවන පරීක්ෂණයන් සඳහා ජනමාධ්‍යවේදීන් පොලිස් ස්ථානයන් වෙත කැඳවා ඔවුන්ගේ මාධ්‍ය ක්‍රියාකාරිත්වයන් පිළිබඳව හා තොරතුරු වාර්තාකරණයන් පිළිබඳව  විස්තර විමසමින් තිබෙන බව මාධ්‍ය සංවිධාන එකතුව වෙත වාර්තා වී ඇත.

ඒ සම්බන්ධ ආසන්නතම සිදුවීම වූයේ මඩකළපුව මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් සෙල්වකුමාර් නිලන්තන් මඩකළපුව, කල්අඩි, ත්‍රස්ත මර්දන ඒකකය වෙත කැඳවා තිබීමය. පැය තුනකට ආසන්න කාලයක් ඔහුව ප්‍රශ්න කර ඇති බවත් ඔහුගේ ඊමේල් ලිපිනයේ සහ මුහුණුපොතේ මුරපද, වට්ස්ඇප් අංකය සහ බැංකු ගිණුම් අංකය පවා ලබාදෙන ලෙස බලපෑම්කර ඇති බවත් දැනගන්නට ඇත. මාධ්‍යවේදීන්ගේ පුද්ගලික සංනිවේදන මුරපද ලබාගැනීමෙන් පසු ඔහුගේ හෝ ඇයගේ සංනිවේදන රහස්‍යභාවය අහෝසි වී අන් කෙනෙකුට ඕනෑම වෙනස් කිරීමක් හෝ ඇතුල් කිරීමක් කළහැකි බව අමුතුවෙන් පැහැදිළි කළයුතු කරුණක් නොවන බව ඔබතුමාට පැහැදිළි වනු ඇතැයි සිතමු.

මීට පෙර ද අවස්ථා කීපයකදීම මඩකලපුවේ මාධ්‍යවේදී පුන්‍යමුර්ති සශිදරන් ද මෙලෙස වරින්වර පොලීසිය වෙත කැඳවා ප්‍රශ්න කිරීම සිදුකර තබුණි.

කිසියම් පැමිණිල්ලක් හෝ වෙනත් සිදුවීමක් නිසා මාධ්‍යවේදියකු සම්බන්ධයෙන්  කුමන හෝ පරීක්ෂණයක් සිදුකරන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ අතිශය පෞද්ගලික තොරතුරු ලබාදෙන ලෙස බලපෑම් කිරීම නීත්‍යානුකූල නොවේ.

එහෙයින්, මෙම සිදුවීම් පිළිබඳව වහා මැදිහත්ව විමසා බලා මාධ්‍යවේදීන්ට මුහුණදීමට  සිදුවන මෙවැනි බාධා වැළැක්වීමට කටයුතු කරන ලෙසත් ඔවුන්ට  තම මාධ්‍ය කටයුතු නිදහස්ව හා ස්වාධීනව කරගෙන යෑමට අවශ්‍ය පසුබිම සකස් කරන ලෙසත් මාධ්‍ය සංවිධාන එකතුව වන අපි පොලිස්පතිවරයා වන ඔබගෙන් දැඩිව ඉල්ලා සිටිමු.