විරෝධතාවන් දැක්වීම යනු සෑම පුරවැසියෙකුගේම මිනිස් අයිතිවාසිකමකි. පුරවැසියන්ගේ භාෂණයේ නිදහස භුක්තිවිදින එක් ආකාරයක් ලෙස විරෝධතාවන් දැක්වීම පෙන්වාදිය හැකිය.
විරෝධතාවන් දැක්වීම සජීවී ප්‍රජාතන්ත්‍රවාදයක තිබිය හැකි, තිබිය යුතු කරුණකි. ඉතිහාසය පුරාම ධනාත්මක සමාජ වෙනස්වීම් සදහා විරෝධතාවන්ගෙන් ලැබී ඇති දිරිදීම් ගැන අපට කොතෙකුත් නිදසුන් පෙන්වාදිය හැක. අධිපතිවාදි පාලනයන් සහ රාජාණ්ඩු බිදවැටීම් පිලිබද ඉතිහාසය විමසන කළ අපට මෙය හොදින් අවබෝධ කරගත හැක.
විරෝධතා දැක්වීම යනු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ පුරවැසියනට සජීවී ලෙසින් ඒ සමාජයේ ප්‍රගමනය සදහා දායකවීමට ලැබෙන අවකාශයක්මය. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ මේ සදහා ඇති අවකාශය, විශේෂයෙන් යම් සමාජයක සෘජු නියෝජනත්වයකට සම්බන්ධවීමට නොහැකිව සිටින පුරවැසිකාණ්ඩයකට ඉතා වැදගත්වේ. රටක පාලනයන් මෙම විරෝධතා දැක්වීම් සදහා ඇති අයිතිය තමනට එල්ලවන අභියෝගයක් ලෙසින් හෝ අපහසු තත්වයන් ලෙසින් දුටුවද, ඒවා සැබැවින්ම මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂාකරගැන්ම සදහා පුරවැසියනට ඇති වටිනා මෙවලමක්ම වේ.
කෝවිඩ් 19 වසංගතය ලොවපුරා ව්‍යාප්තවීමට පටන් ගැනීමත් සමග එක්රැස්වීමට පුරවැසියන්ට ඇති අයිතිය ස්වභාව ධර්මය විසින් සීමා කරන ලදි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තියෙන් සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පල කිරීමේ නිදහසට, සාමකාමීව රැස්වීමේ නිදහසට, සමාගමේය නිදහසට ඇති අයිතිය තහවුරු කර ඇත.අප දන්නා පරිදි කුමන නීතිය වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව ඉක්මවා නොයයි.
කෝවිඩ් - 19 වසංගතයත් සමග ලෝකයේ නව නීති පැනවූ අතර බොහොමයක් සෞඛ්‍ය අංශවල උපදෙස් මතත්, විශේෂඥ උපදෙස් මතත්, ගැසට් නියෝග රෙගුලාසි යනාදියට සීමා විය.ලොවපුරා මේ තත්වය අපට දැකගැනීමට හැකියාව ඇත.
නිරෝධායනය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් බවත්, එය දඩුවමක් හෝ රැදවුම් මාර්ගයක් ලෙස භාවිතා නොකළ යුතු බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය මේ අතර අවධාරණය කර තිබේ. ඇපමත නිදහස් කරන ලද පුද්ගලයන්, බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථානවල රැදවීමේ ක්‍රියාවන් බලහත්කාරී සහ නීතිවිරෝධී ක්‍රියාවන් වේ. එලෙස ක්‍රියාකිරීම, එම පුද්ගලයන් ඇපමත නිදහස් කළ අධිකරණයට කරුනු ලබන අපහාසයක් බවද ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසා සිටියී.
එවැනි අත්අඩංගුවට ගැනීම් හා බලහත්කාරයෙන් රදවා තබාගැනීම් හේතුවෙන් සෞඛ්‍ය බළධාරීන්, ආරක්ෂක හමුදා හා පොලීසිය විසින් කෝවිඩ් - 19 මර්ධනය කිරීම සදහා ගනු ලබන අව්‍යාජ ප්‍රයත්නයන් සම්බන්ධයෙන් අහිතකර ප්‍රතිඵල ඇති කරයි. පුරවැසියනට විරෝධතාවන් දැක්වීමට ඇති නිදහසට අහිතකර ලෙස බලපාන අන්දමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ භාවිතා කිරීමට ඉඩ නොදිය යුතුය. සෞඛ්‍ය රෙගුලාසි හා මාර්ගෝපදේශ, ඒවායේ අරමුණු වන කෝවිඩ් - 19 පැතිරවීම වැළැක්වීම වෙනුවෙන් පමණක් භාවිතා කරන බව තහවුරු කළ යුතුව ඇත. ඉන්දියාවේ ගොවි උද්ගෝෂණ, ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ගවාදයට සහ පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහි උද්ඝෝෂණ වැනි විරෝධතා දැක්වීම්වලට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයතුළ පවතින අවකාශයන් අපි දකින්නෙමු. විශේෂයෙන් නිරෝධායන නීතියට මුවා වී දේශපාලනඥයන්, වැඩිමණක්ම ආණුඩුකරවන්නන් සිය විරුද්ධවාදීන් මර්ධනය කිරීමටත් විරුද්ධවාදින් නිහඩ කිරීමටත් මෙම නීති භාවිතා කරනු අපට පැහැදිලිව දක්නට තිබේ.
මේ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා මෙලෙස අදහස් ප්‍රකාශ කර තිබිණ. “කෝවිඩ් උවදුර දඩමීමා කරගනිමින් ඇතැම් රටවල වගකිවයුත්තන් ප්‍රතිවිරුද්ධ මතවාදීන් නිහඩ කිරීමට සහ මර්දනය කිරීමටත්, රජයේ නොවන සංවිධානවල වාර්තාකිරීම් සහ සියළු ක්‍රියාකාරීත්වයන් සදහා තහංචි දැමීමටත් කටයුතු කරමින් සිටීම අපි දකින්නෙමු. ”එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මේ සම්බන්ධයෙන් විශේෂ විධිවිධාන සහ වාර්තා ඉදිරිපත් කිරීම සිදුකර ඇත. ඉකුත් දින කිහිපයේදිම සෞඛ්‍යසේවා අධ්‍යක්ෂක ජෙනරාල්ගේ වාර්තාවේ මාර්ගෝපදේශ දඩමීමා කරගනිමින්, ශ්‍රී ලංකා ආණ්ඩුවද විරෝධතා සහ උද්ඝෝෂණ මර්ධනය කිරීමට මෙන්ම රටේ පුරවැසියන් අතර මේ ක්‍රියාමාර්ග තුලින් බිය වපුරන වාතාවරණයක් ඇතිකිරීමට කටයුතු මෙහෙයවීම පැහැදිලිවම දක්නට තිබිණ.
අප රටේ සිදුවන්නේ දේශපාලන පක්ෂයේ නායකයෙකු පාර්ලිමේන්තු පැමිණීම සැමරීමට ප්‍රීතිඝෝෂා පවත්වද්දී “නීතිය” එහිදී ක්‍රියාත්මක නොවේ. එදිනම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් කෙටුම්පතකට විරෝධය දක්වන පුරවැසි කණ්ඩායමකට විරුද්ධව “නීතිය” අමානුෂික ලෙසින් ක්‍රියාත්මක වේ. රටේ ක්‍රියාත්මක වන්නේ එක් නීතියක්ද නැතිනම් නිති දෙකක්ද යන්න ප්‍රහේලිකාවක්මය.
අද මුළු රටම අර්බුදවලින් වෙලාගෙන ඇත. බඩගින්න,විරැකියාව,සෞඛ්‍ය අර්බුදය, ණය අර්බුදය, පොහොර අර්බුදය, ගජමිතුරු ධනවාදය, අධිපතිවාදී ගමන මේ සියළු අර්බුද ඉදිරියේ නැගී සිටින ජනතාවගේ අදහස් පලකිරීම් අමානුෂික ලෙසින් මර්දනය කෙරේ.
මේ අසාධාරණවූත් දෙබිඩි ක්‍රියාපිලිවෙත් පැරදවිය යුතුව ඇත. අප රටේ පුරවැසියනට නිදහස් අයිතීන් ඉදිරියේ ඇති මේ අභියෝග පැරදවිය යුතුව ඇත.මේ සදහා පාර්ලිමේන්තුව තුළ අරගලයක් ඇත. අධිකරණය ඉදිරියේද අරගලයක් ඇත. ජනතාව සමගින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් නැගීසිටිමින් කල යුතු අරගලයක් ඇත.
අප සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම ඉදිරියේ ඇති මේ අනතුරු අපි පැහැදිලිවම අවබෝධකරගත යුතුව ඇත. මේ අනතුර පරාජයට පත්කිරීම සදහා සියළු දේශපාලන සහ සිවිල් සංවිධාන ඇතුළුව සියළුම පුරවැසියන් පටු අරමුණුවලින් බැහැරව, ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම ආරක්ෂාකරගැන්ම සදහා සාමූහිකව නැගී සිටිය යුතු අවස්තාවක් එළඹ ඇත.රටේ අනාගතය වෙනුවෙන් පලල් දැක්මකින් සහ වගකීමෙන් යුතුව ඒ භූමිකාව ඉටුකළ යුතුව ඇත.
ඉම්තියාස් බාකීර් මාකාර්