ගුරු ගැටළුවට විසඳුම් ගෙනෙන කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට

ගුරු ගැටළුවට විසඳුම් ගෙනෙන කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට

ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැටලුව විසඳීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද (26) පස්වරුවේ රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

ඒ තුළින් ගුරුවරුන්ගේ ප්‍රශ්නයට පිළිතුරක් ලබාදීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බව කී ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවේ අන්තර්ගත කරුණු කැබිනට් සාකච්ඡාවෙන් පසු අනාවරණය කරන බව ද සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ගුරු වෘත්තීය සමිති සමඟ හෙට (27) උදෑසන සාකච්ඡාවක් පවත්වන බව ද ඇමතිවරයා කීවේය.

ප්‍රශ්නය විසඳීමට උපරිම කැපවීමක් ඇති නිසා සිසු දරුවන් පීඩනයකට ලක් නොකර මාර්ගගත අධ්‍යාපනය අඛණ්ඩව ඉදිරියට ගෙනයන්නැයි ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව ද ඇමතිවරයා පැවසීය.

ගුරුවරුන්ට කොවිඩ් මර්දන එන්නත් දෙවන මාත්‍රාව ද අගෝස්තු අවසානයට පෙර ලබා දී සැප්තැම්බර් මුල් සතියේ යම් සැලැස්මක් අනුව සෞඛ්‍ය උපදෙස්වලට යටත්ව පාසල් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව කී ඇමතිවරයා එයට ද පූර්ණ සහයෝගය දෙන ලෙස ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව සඳහන් කළේය.

මේ වන විට රටේ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලවලින් සියයට 77 කට එන්නත් පළමු මාත්‍රාව දී අවසන් බව ද මහාචාර්ය ජී.එල් පීරිස් මහතා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී අද (26) පැවති මාධ්‍ය හමුවේදීය.

 

උපුටා ගැනීම -ලංකාදීප