‘ලංකාව පුරාම ඩෙල්ටා ආසාදිතයින් සිටිනවා‘ – සෞ.සේ.නි.අ. ජනරාල්

‘ලංකාව පුරාම ඩෙල්ටා ආසාදිතයින් සිටිනවා‘ – සෞ.සේ.නි.අ. ජනරාල්

ඩෙල්ටා ප්‍රභේදය සහිත රෝගීන් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම දැකිය හැකි බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඩෙල්ටා ව්‍යාප්තිය ගැන අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ බස්නාහිර පළාත, උතුරු, දකුණු හා නැගෙනහිර පළාත්වල ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් හඳුනාගෙන ඇති අවස්ථාවකදී මෙවැනි සිද්ධීන් රටේ සෑම දිස්ත්‍රික්කයකම සොයාගත හැකි බවයි.

සෞඛ්‍ය බලධාරීන් විසින් මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් 68 ක් හඳුනාගෙන ඇති අතර ප්‍රජාව තුළ හඳුනා නොගත් රෝගීන් වැඩි සංඛ්‍යාවක් සිටිය හැකි බව ද ඔහු පැවසීය.

“ඩෙල්ටා ප්‍රභේදය ලෝකයේ වඩාත්ම ප්‍රමුඛතම ප්‍රභේදය බවට පත්වෙමින් තිබෙන බවක් පෙනෙන්නට ඇති අතර අපේ රටේ ඒ සඳහා ව්‍යතිරේකයක් නොවේ” යනුවෙන් ඔහු අවධාරණය කළේය.

කෙසේ වෙතත්, වෛද්‍ය හේරත් අවධාරණය කළේ, “ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා අප අසාමාන්‍ය පියවර අනුගමනය කළ යුතු නැහැ. මුඛ ආවරණ නිසි ලෙස පැළඳීම, නිතිපතා අත් සේදීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම වැනි දැඩි පොදු සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමට ඊට ප්‍රමාණවත්. රට තුළ එන්නත් කිරීමේ ක්‍රියාවලිය වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. එමගින් කොවිඩ් වෛරසයට එරෙහිව ආරක්ෂාවක් සැලසෙනවා. ඒනිසා කිසිදු පැකිලීමකින් තොරව එන්නත ලබා ගන්නා ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා‘ යැයි ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.