‘ලන්ච්ෂීට් තහනම‘ අනිද්දා සිට තදින්ම ක්‍රියාත්මකයි

‘ලන්ච්ෂීට් තහනම‘ අනිද්දා සිට තදින්ම ක්‍රියාත්මකයි

පොලිතීන්වලින් නිෂ්පාදිත නොදිරන ලන්ච්ෂීට් භාවිතය තහනම හෙට (1) සිට තදින් ක‍්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පොලිතීන්වලින් නිෂ්පාදිත නොදිරන ලන්ච්ෂීට් භාවිතය තහනමට අදාළ ගැසට් පත‍්‍රය 2017 වසරේ නිකුත් කර තිබුණත් එම තහනම ක‍්‍රියාත්මක කිරීම සඳහා වගකිවයුතු අංශවලින් නිසි සහයෝගයක් ලබා නොදීම නිසා එය නිසිසේ ක‍්‍රියාත්මක නොවූ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

නොදිරන ලන්ච්ෂීට් භාවිතය තහනම පිළිබද මාධ්‍ය දැනුවත් කිරීම සදහා ඊයේ (30) දින පැවැති මාධ්‍ය හමුවකදී පරිසර අමාත්‍යවරයා විසින් මේ බව සදහන් කළා.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ වර්ෂයකට ලන්ච්ෂීට් මිලියන 5475ක් පමණ ප‍්‍රතිචක‍්‍රිකරණ ක‍්‍රියාවලියකින් තොරව පරිසරයට විවිධ පුද්ගලයින් හා ආයතන විසින් මුදාහැර ඇතත් ඒ පිළිබද කි‍්‍රියාමාර්ග ගත නොහැකි වී ඇති බවයි.

‘‘අගෝස්තු මස පළමු වැනිදාට පසුදැඩි ලෙස නීතිය ක‍්‍රියාත්මක කරනවා. කිසිසේත්ම තව කල් දීමක් සිදුවෙන්නේ නැහැ. අපි වැටලීම් ආරම්භ කරනවා. දිනකට පරිසරයට මුදා හරින ලන්ච් ෂීට් ප‍්‍රමාණය මිලියන 15ක් පමණ වෙතැයි මධ්‍යම පරිසර අධිකාරිය හෙළිදරව් කර ගෙන තිබෙනවා. හිටපු ජනාධිපති හා පරිසර අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා ලන්ච්ෂීට් තහනම් කිරීමේ ගැසට් පත‍්‍රය නිකුත් කරනු ලැබුයේ එවන් පරිසරයකයි.

නමුත් එම තහනම ක‍්‍රියාත්මක කිරීම සඳහා නිෂ්පාදන ආයතන, අලෙවි ආයතන මෙන්ම මහජනතාවද උනන්දු වුණේ නැහැ. මෙම වසරේ ගත වූ කාලය තුළ මම මේ සම්බන්ධව අදාළ වගකිව යුතු අංශ සමග සාකච්ඡා කළා. ඊට පසුව මෙම ගැසට් පත‍්‍රය පරිදි නොදිරන පොලිතීන්වලින් නිෂ්පාදිත ලන්ච්ෂීට් අපේ රටේ නිෂ්පාදනය, බෙදාහැරීම මෙන්ම අලෙවි කිරීම තහනම් කිරීමට තීරණය කළා.‘ යැයි ද පැවසුවේය.