යුගදනවි බලාගාරය විනිවිදභාවයකින් තොරව ඇමෙරිකානු සමාගමට විකිණීම විරෝධය

යුගදනවි බලාගාරය විනිවිදභාවයකින් තොරව ඇමෙරිකානු සමාගමට විකිණීම විරෝධය

මහා භාණ්ඩාගාරය, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ට‍්‍රාන්ස්ෆෝමර් සමාගම, ලංකා විදුලි පුද්ගලික සමාගම, සේවක අර්ථසාධක අරමුදල වැනි කොටස්කරුවන් රැසක් සිටින යුගදනවි බලාගාරයේ රජය සතු 40%ක කොටස් කිසිදු විනිවිදභාවයකින් තොරව New Fortress Energy ඇමෙරිකානු සමාගමට විකිණීම.

මෙමගින් මෙරටෙහි ඇති රාජ්‍ය දේපළ සහ වත්කම්වල සුරක්ෂිතභාවය සහ ඒ කෙරෙහි රජය සතු වගවීම පිළිබඳව බරපතල ගැටලූ සහ සැකසංකා මතුවන බවත්, වැරදි සහගත එම තීරණයන් වහාම ඉවත් කර ගැනීමට කටයුතු කරන ලෙස ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටින අතර එසේ නොවන්නේ නම් නැවත දැනුම්දීමකින් තොරව ආගමික නායකයින්, රටේ අනෙකුත් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන හා එක්ව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය විසින් ජනාධිපතිවරයාට ලිපියක් යවමනි ්ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, පසුගිය සති කිහිපයක කාල සීමාව තුළ මෙරටෙහි සිදුවූ දේශපාලනික තනතුරු පෙරළිය තුළින් රට දැනට පත්වී ඇති අගාධයෙන් මිදීමට මගක් උදාවනු ඇතැයි රාජ්‍ය සේවකයින් මෙන්ම ශ‍්‍රී ලාංකීය පුරවැසියන් වශයෙන්ද අපි බලාපොරොත්තු වුනෙමු. නමුත් අභාග්‍යසම්පන්න ලෙස එතැන් පටන් දිගින් දිගටම රජයේ සිදුවූ දේශපාලනික තීන්දු තීරණ ගැනීම් මෙරට සහ එහි පුරවැසියන්ට අනර්ථකාරී සහ අදූරදර්ශී ඒවා බවට අපට ප‍්‍රත්‍යක්ෂ වූ අතර ලංකා විදුලිබල මණ්ඩලයට සෘජුවම බලපාන සහ මෙරටෙහි ජීවනාලිය බඳු බලශක්ති ක්ෂේත‍්‍රය සම්පූර්ණයෙන්ම අස්ථාවර වියහැකි පහත අනර්ථකාරී දේශපාලනික තීන්දු කෙරෙහි ඔබගේ අවධානය යොමු කරනු කැමැත්තෙමු.

  1. මහා භාණ්ඩාගාරය, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ට‍්‍රාන්ස්ෆෝමර් සමාගම, ලංකා විදුලි පුද්ගලික සමාගම, සේවක අර්ථසාධක අරමුදල වැනි කොටස්කරුවන් රැසක් සිටින යුගදනවි බලාගාරයේ රජය සතු 40%ක කොටස් කිසිදු විනිවිදභාවයකින් තොරව New Fortress Energy ඇමෙරිකානු සමාගමට විකිණීම. මෙමගින් මෙරටෙහි ඇති රාජ්‍ය දේපළ සහ වත්කම්වල සුරක්ෂිතභාවය සහ ඒ කෙරෙහි රජය සතු වගවීම පිළිබඳව බරපතල ගැටලූ සහ සැකසංකා මතුවන බව අවධාරණය කරනු කැමැත්තෙමු. රජයේ මූල්‍ය ප්‍රතිපත්ති සහ තීන්දු තීරණ වල ගැටලූ හේතුවෙන් ක්ෂය වී ඇති විදෙස් මුදල් සංචිත පුරවා ගැනීමට මෙලෙස මෙරටෙහි විදුලිබල ක්ෂේත්‍රයට අයත්වන වත්කම් සහ දේපළ විදෙස් ආයතන වලට විකිධෑම කිසිදු ලෙසකින් බුද්ධිගෝචර නොවේ. තවද මේ සඳහා ආයෝජනය කරන්නේ ඉහත දැක්වූ ගැටලූසහගත ලෙසට මෙරට පාවෙන ද්‍රවීකෘත ස්වභාවික වායු ගබඩා පර්යන්තය (FSRU unit) ඉදිකිරීමට ඉදිරිපත් වූ Fortress Energy සමාගමම වීම මේ තත්වය තවත් බරපතල කරන බව සඳහන් කළ යුතුය. මෙමගින් මෙම ඇමෙරිකානු සමාගම ක්‍රමක්‍රමයෙන් මෙරටෙහි බලශක්ති ක්ෂේත්‍රයේ අනාගතය සිය ග්‍රහණයට නතු කරගෙන ඇමෙරිකානු භූ ව්‍යාප්තවාදයේ ඉත්තෙක් බවට මෙරට පරිවර්තනය කිරීම ආරම්භ කර ඇති බව තත්වය නුවණැසින් විමසීමේදී පැහැදිලි වේ. එබැවින් මෙරටෙහි බලශක්ති ක්ෂේත‍්‍රයේ වත්කම් සහ වගකීම් විනිවිදභාවයකින් තොරව අමෙරිකානු සමාගමකට විකිණීම සම්බන්ධයෙන් කිසිදු ලෙසකින් එකඟ විය නොහැකි බවට අවධාරණය කරන්නෙමු,
  2.  අන්තර්ජාතික තරඟකාරී මිල ගණන් කැඳවීම යටතේ ටෙන්ඩර් කැඳවා එයට ඉදිරිපත් වූ ලංසුකාර සමාගම් විස්සකට අධික ප්‍රමාණයක ටෙන්ඩර් අතුරින් රාජ්‍ය ප්‍රසම්පාදන පටිපාටීන්ට අනුව තාක්ෂණික වශයෙන් නිවැරදි සහ අඩුම මිලගණන් සහිත ටෙන්ඩරය දුන් සමාගම තෝරාගෙන ඒ හරහා ඉදිකිරීමට බලාපොරොත්තු වූ මෙරට එකම පාවෙන ද්‍රවීකෘත ස්වභාවික වායු ගබඩා පර්යන්තය (FSRU unit) විෂය භාර අමාත්‍යවරයා හෝ කැබිනට් මණ්ඩලය පවා දැනුවත් නොකර මුදල් අමාත්‍යංශ ලේකම් කාර්යාලයේදී New Fortress Energy නැමති ඇමෙරිකානු සමාගමකට කිසිදු විනිවිදභාවයකින් තොර ගිවිසුමක් මගින් ලබාදීම. රටක බලශක්තිය යනු එරටෙහි ජීවනාලිය බවත් බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුධ උද්ගත වන රටක අනාගතය සහමුලින්ම අඳුරේ බවත් ඔබට තේරුම්ගත හැකි බවට අපි විශ්වාස කරන්නෙමු. අනාගත දශක කීපය තුළ මෙරටෙහි බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ප්‍රභවය වන්නේ ද්‍රවීකෘත ස්වභාවික වායු ඉන්ධන නොහොත් LNG ය. මෙරටට අවශ්‍ය එම ඉන්ධනය ගෙන්වාගෙන ගබඩා කර බෙදා හැරීමේ සම්පූර්ණ බලාධිකාරිය ඇමෙරිකානු පුද්ගලික සමාගමකට දීමේ ප‍්‍රතිවිපාක ඔබට පැහැදිලි ඇතැයි අප විශ්වාස කරන්නෙමු. මේ වනවිට ලෙබනනය එම අත්වැරැද්ද සිදුකර අතිශය අර්බුධකාරී තත්වයකට පැමිණ ඇත. එසේ ද්‍රවීකෘත ස්වභාවික වායු මෙරටට ගෙන්වීම සහ ගබඩා කිරීම මෙරටට ගෙන්වන අනෙකුත් ඉන්ධනයන් සඳහා සිදුකරන්නාක් මෙන් පූර්ණ වශයෙන් රජය යටතේ පවතින ආයතනයක් යටතේ සිදුවිය යුතු බව අපගේ විශ්වාසයයි. ඉහත ආකාරයට කිසිදු විනිවිදභාවයක් නොමැති අසම්පූර්ණ ගිවිසුමක් මගින් මෙරටෙහි අනාගත බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානම ඉන්ධන සැපයුම ඇමෙරිකානු සමාගමකට ලබාදීමට දැඩි සේ විරුද්ධ වන බව මෙයින් අවධාරණය කරමු,
  3. 3. 2009 අංක 20 දරණ මෙරට විදුලිබල පනත සංශෝධනය කරන මුවාවෙන් පෞද්ගලික සමාගම් හිමියන් ධනවත් කරන Feed in Tariff වැනි ලංකා විදුලිබල මණ්ඩලයට අතිශය අනර්ථකාරී රෙගුලාසීන් පනතට ඇතුලත් කර මෙම ආයතනය ආර්ථික වශයෙන් බෙලහීන කිරීමට උත්සාහ කිරීම. වර්තමානයේ මෙරටෙහි පුනර්ජනනීය බලශක්තීන් වන සූර්ය බලය සහ සුළං බලය සම්බන්ධයෙන් ප්‍රවීනත්වය ලැබූ සමාගම් සහ ආයෝජකයින් ඕනෑ තරම් සිටින අතර තරඟකාරී මිලගණන් කැඳවීම් වලදී ඔවුන් විසින් සූර්ය බල විදුලි ඒකකයකට රු.16ක් වැනි අගයක්ද සුළං බල විදුලි ඒකකයකට රු. 10ක් වැනි අගයක්ද ලෙසින් ඉතාම අඩු මුදලකට ටෙන්ඩර් අයදුම්පත් ලබාදී ඇත. එවන් තත්වයක් තුළ ඔවුන්ගේ දායකත්වයෙන් මෙරටෙහි සුනිත්‍ය බලශක්තිය ප්‍රවර්ධනය කර අනෙක් අතට ලංවිමට ආර්ථික ලාභයක් ලබාගන්න අවශ්‍ය පසුබිම සකසනවා වෙනුවට ඉහත සමාගම් වලට විදුලි ඒකකයකට රු.25ක් හෝ 30ක් වැනි ඉතාම ඉහල මුදලක් ගෙවීමට සිදුවන ලෙසට පනත සංශෝධනය කිරීම කිසිසේත්ම එකඟ විය නොහැකි තත්වයකි. රාජ්‍ය නිලධාරීන් යටපත් කර තමන්ගේ ව්‍යාපාරික හිතවතුන්ගේ පසුම්බිය පිරවීමට රජයේම පිරිසක් අත්තනෝමතික ලෙස උත්සාහ කරන බව අපට ඉතාම පැහැදිලිව පෙනීගොස් ඇති අතර එයට දැඩි විරෝධය මෙයින් ප්‍රකාශ කරන්නෙමු,
  4. දේශපාලනික වාසීන් ලබාගැනීමට සහ පුද්ගලයින් හෝ ඇතැම් පාර්ශව සතුටු කරවීමට අවශ්‍ය වන පරිදි මෙරටෙහි බලශක්ති ප්‍රතිපත්තීන් සහ බලාගාර සැලසුම් වෙනස් කිරීම. 1990 දශකයේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය තැනීම ප්‍රමාද කර විදුලිබල මණ්ඩලයේ යෝජනා කුණු කූඩයට දැමීමේ ප්‍රතිඵලය වූයේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය වසර 15ක් පමණ ප‍්‍රමාද වී ඉදිවීම සහ එම ප්‍රමාදය හේතුවෙන් මෙරටට රුපියල් බිලියන 900ක් පමණ වූ අලාභයක් සිදුවීමය.

සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදිකිරීමද අතරමඟ නවතා දැමිණි. අවසානයේ සාම්පූර් බලාගාරය මෙරටට අහිමි වීමෙන් මේ වනවිට සිදුවී ඇති පාඩුව රුපියල් බිලියන 200කට අධිකය. තවද මෑතකදී ඔබතුමා විසින් ගත් තීරණයකට අනුව 2030 වනවිට රටෙහි බලශක්ති ඉල්ලූමෙන් 70% සුනිත්‍ය බලශක්තියෙන් ආවරණය වියයුතු බවට සැකසුනු ප්‍රතිපත්තියට අදාළ නිර්දේශයන් දුන්නේ දශක ගණනාවක බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් විසින්ද නැතහොත් පෞද්ගලික සමාගම් වලින් මෙහෙයවූ වාසිය වෙනුවෙන් පමණක් දතකන නඩයකින්ද යන්න නැවත විචාරා බලනමෙන් අප ප්‍රකාශ කරන්නෙමු. මන්ද යත් ඒ තීරණයෙන් වසර ගණනවක අරගල කිරීමකින් පසුව රජයට ලබාදුන් ජාතික බලශක්ති ප්‍රතිපත්තියට අනුව සැකසුණු 2022- 2041 ලංවිම දිගුකාලීන ජනන සැලැස්ම සම්පූර්ණයෙන්ම අවුල් වී එය ක්‍රියාත්මක වීම තවත් වසර ගණනාවක් ප්‍රමාද වීම සහ ඒ හේතුවෙන් මෙරට ඉදිකිරීමට නියමිත බලාගාර සියල්ලම තවදුරටත් ප්‍රමාද වීමයි.

මෙරටෙහි ප්‍රමුඛතම සේවයක් සපයන රාජ්‍ය ආයතනයක වගකිවයුතු වෘත්තීය සමිති එකමුතුවක් වශයෙන් සහ රටෙහි ගෞරවනීය පුරවැසියන්ගේ එකමුතුවක් වශයෙන් ඉහත අර්බුදකාරී දේශපාලනික තීන්දු සහ ක්‍රියාකාරකම් පිලිබඳව ඔබතුමාගේ කාරුණික අවධානය යොමුකර ගනු ලැබූ ඉහත වැරදි සහගත තීරණයන් වහාම ඉවත් කර ගැනීමට කටයුතු කරන ලෙස ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටින අතර එසේ නොවන්නේ නම් නැවත දැනුම්දීමකින් තොරව ආගමික නායකයින්, රටේ අනෙකුත් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන හා එක්ව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව මෙයින් දැනුම් දෙමු. පවතින ගැටලූව නිරාකරණය කිරීමට කඩිනමින් මැදිහත් වනු ඇතැයි අප විසින් උදක්ම බලාපොරොත්තු වෙමු.

එසේ නොවන්නේ නම් එයට විරෝධය පා වෘත්තීය සමිති අරගලයන් වලට යොමු වීමට අප පසුබට නොවන බව නැවත නැවතත් අවධාරණය කරන්නෙමු. වසංගත තත්වය හේතුවෙන් සහ ආර්ථික අර්බුද හේතුවෙන් පීඩාවට පත්ව සිටින මෙරටෙහි ජනතාව අප විසින් එසේ සිදුකරන අරගල හේතුවෙන් කබලෙන් ලිපට වැටීම සම්බන්ධයෙන් කිසිදු වගකීමක් අප නොගන්නා බවත් වැඩිදුරටත් සඳහන් කරන්නෙමු.