‘රට විවෘත කිරීමේ තීන්දුව ගැන’ කොවිඩ් රාජ්‍ය ඇමැතිනිය කළ හෙළිදරව්ව

‘රට විවෘත කිරීමේ තීන්දුව ගැන’ කොවිඩ් රාජ්‍ය ඇමැතිනිය කළ හෙළිදරව්ව

අගෝස්තු මස 02 වැනි සඳුදා රට විවෘත කරන තීරණය බොහෝ දුරට වෙනස් විය හැකි යැයි ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

‘‘දැන් රට තියෙන්නේ ඒ තීරණය ගනිද්දි තිබුණ තත්ත්වයේ නොවෙයි. පසුගිය සතියේදී රෝගීන් ප්‍රමාණය වැඩිවී තිබෙනවා. පවතින අවදානම් තත්වය යටතේ කල්පනාකාරීව තීරණ ගැනීමට වෙනවා‘ යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවන්නේ ඉදිරි කාලයේදී මාසයකට කොවිඩ් වෛරසය හේතුවෙන් මිය යන පුද්ගලයින් සංඛ්‍යාව 4000ක් 4500ක් දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම සංඛ්‍යාව යුද සමයේදී දිනකට මිය ගිය පුද්ගල සංඛ්‍යාව පවා අභිබවා යන තත්වයක් විය හැකි බවයි.

“දිනකට මිය යන රෝගීන් සංඛ්‍යාව 50ට අධිකයි. මාසයකට ආසන්න වශයෙන් 4000ත් – 4500ත් අතර ප්‍රමාණයක් මිය යාවි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. යුද්ධය පැවති සමයේදීවත් මෙපමණ මිනිසුන් මිය ගිහින් නැහැ. ජනතාව තේරුම්ගන්න ඕනි මේක ඉතාමත් භයානක අවස්ථාවක්. ඉදිරියේදී මෙවැනි තත්වයක් ඇති වීමේ අවදානම පවතින බැවින් ජනතාව එය තේරුම්ගෙන කටයුතු කිරීම ඉතා වැදගත්‘

මේ අතර අද (01) දින සිට පළාත් අතර සංචරණ සීමා සඳහාද අවසර ලැබෙන අතර ලබන දෙවෙනිදා සිට රාජ්‍ය ආයතනවල 100%ක සේවක ධාරිතවය සහිතව වැඩ කිරීමට රජය විසින් නියෝග කර තිබේ.