අන්තර් පළාත් සංචරණ සීමා ලිහිල් කිරීමට තවමත් කිසිදු තීරණයක් ගෙන නෑ

අන්තර් පළාත් සංචරණ සීමා ලිහිල් කිරීමට තවමත් කිසිදු තීරණයක් ගෙන නෑ

අන්තර් පළාත් සංචරණ සීමා ලිහිල් කිරීමට තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති වුවත් රජයේ සේවය සඳහා පැමිණෙන අයට, බස්රථ හෝ වෙනත් ආකාරයකින් රැකියාව සඳහා පැමිණීමට අවස්ථාව ලබාදිය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

මෙහිදී වැඩි දුරටත් කරුණු සදහන් කරමින් ගුණවර්ධන මහතා අවධාරණයෙන් කියා සිටියේ කොවිඩ් ව්‍යාප්තියෙහි වගකීම සෞඛ්‍ය සේවයට හෝ ත්‍රිවිධ හමුදාවට පමණක් භාරගත නොහැකි බවයි.

මේ අතර අන්තර් පළාත් බස්රථ හා දුම්රිය සේවා අද (01) සිට යළි ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළ අතර එක් එන්නතක් හෝ ලබානොගත් පුද්ගලයින් බස් රථවලට ඇතුළුවීමේ දී ඔවුන්ගෙන් සාමාන්‍ය බස් ගාස්තුව මෙන් දෙගුණයක් අයකර ගැනීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවා.

‘‘ මගියෙක් බස්රථයකට ඇතුළුවීමේ දී කොවිඩ් එන්නත් ලබාගත් බවට තහවුරු කර ඇති එන්නත් කාඩ් පතෙහි ඡායා පිටපතක් මගීන් සතුව තිබිය යුතුයි‘ විජේරත්න මහතා සදහන් කළා..

ගැමුණු විජේරත්න මහතාගේ මෙම ප්‍රකාශයට පිළිතුරක් වශයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා පවසා සිටියේ, හෙට දින සිට සියලුම බස්රථ ධාවනයට එක්කරන බවයි.

‘‘ එන්නත්කරණය කළ කාඩ් පතේ ඡායාපිටපත් රැගෙන යෑම ප්‍රායෝගික නොවන ක්‍රියාවක් වශයෙන් අපි සලකන්නේ නැහැ‘ ඔහු කියා සිටියා.