වරායේ කොවිඩ් පොකුරක් සෑදීම වලක්වන්න

වරායේ කොවිඩ් පොකුරක් සෑදීම වලක්වන්න

වරාය තුළ කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ ඉඩකඩ වහා වලක්වන ලෙස ඉල්ලා සිටිමින් වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා වෙත ඉල්ලීමක් කරමින් සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතිය ලිපියක් යවා ඇත.

එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, කොවිඩ් තෙවන රැල්ල මේ වන විට රට පුරා පැතිර යමින් පවතී. වරාය තුලද එම තත්වය බරපතල ලෙස වර්ධනය වී ඇත. එසේ තිබියදී රාජ්‍ය සේවය සාමාන්‍යකරණය කිරීමට රජය ගනු ලැබූ තීරණයට අනුව සියලූ වරාය සේවකයන්ද 2021.08.02 සිට සේවයට කැඳවා ඇත. එම තීරණය අනුව,

  1. සේවකයන් රාජකාරී සඳහා වාර්තා කිරීමේදී ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැති වීම හේතුවෙන් #කොවිඩ් මාර්ගෝපදෙස් උල්ලංගණය කරමින් සේවයට වාර්තා කිරීමට සිදුව ඇත,
  2. කාර්යාල තුල හා වැඩ බිම් තුල සේවා ආරම්භ කිරීමේදී ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් රොගය පැතිරීමට එම තත්වය හේතු වීමට ඉඩ ඇත,
  3. සේවා හුර ක්‍රමයක් මත සේවයට වාර්තා කරන සේවකයන්ගේ සේවක විවේකාගාර වල ඉඩ කඩ කිසිසේත් ප්‍රමාණවත් නොවන අතර රෝගය පැතිරීමට එයද හේතුවක් වේ,
  4. ගැබිණි කාන්තාවන් හා කුඩා දරුවන් සිටින කාන්තාවන් සේවයට කැඳවීමේදී අවධානම පිලිබඳව සැලකිල්ලට ගෙන නැත.

මෙම කරුණු පිලිබඳව සැලකිලලට ගෙන සියලූ සේවකයන් යලි සේවයට කැඳවීම පිලිබඳව නැවත සලකා බලාන ලෙසත්, වරාය තුල කොවිඩ් පොකුරක් නිර්මාණය වීම වලක්වන ලෙසත් අප ඔබ තුමගෙන් ඉල්ලා සිටිමු.

විශේෂයෙන් කොවිඩ් ව්‍යාප්තිය වැලැක්වීම සඳහා වරාය තුල මෙහෙයුම් මධ්‍යස්ථානයක් ගොඩ නඟා ඇතත් එහි කාර්යයභාරය නිසි ලෙස ඉටු වනවාද යන ගැටළුව මේ වන විට පැන නැගී ඇත.

  1. කොවිඩ් වැළදුනු වරාය සේවකයන්ට පහසුකම් සහිත අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් (හෝටලයක් හෝ ඊට සමාන ස්ථානයක්) වෙන් කර පවත්වාගෙන යන ලෙස ගෙවීගිය වසරකට වඩා වැඩි කාලයක් පුරා අප යොජනා කර ඇතත් මේ දක්වා එම කටයුත්ත සිදු කර නැත,
  2. එම නොසලකා හැරීම නිසා කොවිඩ් වැළදුනු වරාය සේවකයන් පසුගිය කාලය පුරාම දැඩි දුෂ්කරතාවට පත් විය,
  3. කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රිතයන් සබැඳිව අනුගමනය කරන ක්‍රියා පිළිවෙත ද බරපතල ගැටලූ සහගත වේ. ඔවුන් ආරක්ෂිතව නිරෝධායනය කිරීමට වැඩ පිළිවෙලක් වරාය අධිකාරියට නොමැති අතර එවැනි අය නිවෙස් වෙත යොමු කිරීම වරායට ඇති එකම වැඩ පිළිවෙල බවට පත්ව ඇත,
  4. ශ්‍රි ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක වෛද්‍ය මධ්‍යස්ථානය වරාය තුල #කොවිඩ් ව්‍යාප්තිය වැලැක්වීම හා ඊට අදාල කටයුතු වලදී ප්‍රමාණවත් පරිදි යොදා ගන්නවාද යන ගැටළුව පැණ නැගී ඇත,
  5. වෛරසය වැලදුන අයවලූන් සිටීද යන්න සොයා බැලීම සඳහා රෝග ව්‍යාප්තිය සමගම ආරම්භ කරන ලද #PCR පරීක්ෂණ හා ඇන්ටිජන පරීක්ෂණ සිදුකිරීම මේ වන විට වරාය අධිකාරිය විසින් නතර කර ඇත. ඒ වෙනුවට රෝග ලක්ෂණ අති හෝ නැති ආශ්‍රිතයින් තමන්ගේ කැමැත්ත මත රු 2200/- ක මුදලක් ගෙවා ඇන්ටිජන් පරීක්ෂාවක් කර ගැනීමට අවස්ථාව සලසා ඇත. වරාය වැනි ආයතනයක සේවකයින් සම්බන්දයෙන් අනුගමනය කරන මෙම ක්‍රියා පිළිවෙත අපට කිසි සේත් අනුමත කල නොහැක,
  6. එසේ තිබියදී කොවිඩ් වසංගත තත්වයෙන් ආරක්ෂා වීම සඳහා සේවකයන් වෙත ලබා දෙන එක් වරක් පමණක් පාවිච්චි කර ඉවත දමන “KENKO” වර්ගයේ තට්ටු හතරකින් යුතු මුහුණු ආවරණ එකක් වරාය මිළදී ගන්නේ රුපියල් 40/- බැගිනි. එම මුහුණු ආවරණය කාර්ගීල්ස් ආයතනය රුපියල් 20/- මුදලකට අලෙවි කරනු ලබයි. වරාය එම වර්ගයේ මුහුණු ආවරණ ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මාසිකව මිළදී ගනු ලබයි. සිල්ලර වටිනාකමට වරාය එම මුහුණු ආවරණ කාර්ගීල්ස් ආයතනය මගින් මිලඳී ගන්තා උවත් වරායට මසකට රුපියල් ලක්ෂ 20 ක පමණ මුදලක් එමගින් ඉතිරි කර ගත හැක. එම වංචා සහගත ක්‍රියාව නතර කර එම මුදල් වරාය සේවකයින් #කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා යොදා නොගැනීම පිළිබඳ බරපතල ගැටළුව මතු කර සිටිමු,
  7. ඉහත වංචාව පිලිබඳ 2021.06.12 දින විෂයභාර ආමාත්‍ය වරයා ලෙස ඔබ තුමා දැනුවත් කර කඩිනමින් පරීක්ෂණය කර මුදල් දුෂණ වලක්වන ලෙස අප ඉල්ලා ඇතත් අද දක්වා ඊට ප‍්‍රතිචාර දක්වා නැත. ඒ වෙනුවට වරාය අධිකාරිය විසින් එම වංචාව සාධාරණීකරනය කිරීම සඳහා මාධ්‍ය නිවේදන නිකුත් කර ඇත.

වරාය මෙහෙයුම් ක්‍රියාවලිය බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අප ඉහතින් පෙන්වා දෙන ලද ගැටලූ වලට කඩිනමින් විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු. මතුව ඇති ගැටළු නිරාකරණය කිරීමට හා අපගේ අදහස් හා යෝජනා ලබා දීමට ඔබ තුමාගෙන් වෘත්තීය සමිති සාකච්ඡාවක් අප ඉල්ලා ඇතත් මේ දක්වා එම අවස්ථව අප සංගමය වෙත ලබා දී නැත. අප සංගමය වෙත අවස්ථාවක් ලබා දෙන ලෙස නැවත වරක් කාරුණීකව ඉල්ලා සිටිමු.