ගුරු-විදුහල්පතිවරන් අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම වහාම නවත්වන ලෙස පොලිස්පතිගෙන් ඉල්ලයි

ගුරු-විදුහල්පතිවරන් අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම වහාම නවත්වන ලෙස පොලිස්පතිගෙන් ඉල්ලයි

උද්ඝෝෂණවලට සහභාගි වූ ගුරුවරු සහ විදුහල්පතිවරු අනීතික ලෙස අත්අඩංගුව ගැනීම පිළිබඳව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටින්නේ අත්තනෝමතිකව ගුරුවරු සහ විදුහල්පතිවරු අත්අඩංගුවට ගැනීම පිළිබඳව අවධානය යොමු කර එම අත්තනෝමතික කටයුතු නතර කිරීමට පියවර ගන්නා ලෙසයි.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, ගුරු-විදුහල්පතිවරුන්ට පවතින වැටුප් විෂමතාවට විසඳුම් ලබාදෙන ලෙස බල කරමින් දිවයින පුරා පාසල්වල ගුරුවරු සහ විදුහල්පතිවරු වෘත්තීය කි‍්‍රයාමාර්ගවල නිරතව සිටී. එම වෘත්තීය කි‍්‍රයාමාර්ග අතර, විවිධ ප‍්‍රදේශවල උද්ඝෝෂණ කි‍්‍රයාමාර්ග ගණනාවක් ද කි‍්‍රයාත්මක කරමින් පවතී.

2021.08.04 දින කොළඹ ප‍්‍රදේශ කිහිපයකින් රථ පෙළපාලි මගින් කොළඹ නගරයට පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණයේ නිරත වූ ගුරු-විදුහල්පතිවරු උද්ඝෝෂණය අවසන් වී ආපසු යමින් සිටියදී පොලීසිය විසින් විවිධ ස්ථානවල දී ගුරුවරියන් 16 දෙනෙකු ඇතුළු 44 දෙනෙක් අත්අඩංගුවට ගෙන කොළඹ වරාය පොලීසියේ රදවා තබා 2021.08.05 දින කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර අධිකරණයෙන් ඔවුන් ඇප මත නිදහස් කරන ලදී.

එසේම මහනුවර ප‍්‍රදේශයේ 2021.08.01 දින පැවති දෙමව්පිය උද්ඝෝෂණයට සහ 2021.08.04 දින පැවති ගුරු-විදුහල්පති උද්ඝෝෂණයට සහභාගි වූ ගුරුවරු, විදුහල්පතිවරු සහ දෙමාපියන් පිරිසක් සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඔවුන් 2021.08.11 දින අධිකරණය වෙත කැඳවා ඇත.

එසේම 2021.07.20 දින මාතර ප‍්‍රදේශයේ දී උද්ඝෝෂණයකට සහභාගි වූ ගුරුවරියක් ඇතුළු තිදෙනෙක් ඊයේ දින සහ අද දින අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, 2021.08.16 දින ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අද (2021.08.09) දින යාපනයේ ගුරු-විදුහල්පතිවරු විසින් පැවැත් වූ රථ පෙළපාලියේ ඉදිරියෙන් ගමන් කළ වාහනයේ රියදුරු 2021.08.10 දින ප.ව. 5.00 පොලීසියට කැඳවා ඇත.

උද්ඝෝෂණයේ යෙදීමට හා විරෝධය දැක්වීමට ඇති අයිතිය උල්ලංඝණය කරමින් පොලීසිය විසින් කෝවිඩ් 19 නිරෝධායන පිළිවෙත්වලට මුවා වී ඉහත ආකාරයෙන් අත්තනෝමතිකව ගුරුවරු සහ විදුහල්පතිවරු අත්අඩංගුවට ගැනීම පිළිබඳව අවධානය යොමු කර එම අත්තනෝමතික කටයුතු නතර කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.

එම ලිපිය සඳහා පහත සඳහන් ගුරු සංගම් විසින් ඉල්ලීම කර ඇත.

ලංකා ගුරු සංගමය, ලංකා ගුරුසේවා සංගමය, විදුහල්පති සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ශ‍්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, ඒකාබද්ධ ගුරු සේවා සංගමය, ලංකා ප‍්‍රගති ගුරු සංගමය, කතෝලික ගුරු සංගමය, පුහුණු විද්‍යාපීඨ හා උපාධිධාරි ගුරු සංවිධානය, ලංකා ගෘහ වි. හා කෘෂි වි. ඩිප්ලෝ: සංගමය, ශී‍්‍ර ලංකා ඉස්ලාම් ගුරු සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය, ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය, සමස්ත ලංකා ගුරු උපදේශකවරුන්ගේ සංගමය, ශ්‍රේණිධාරී විදුහල්පති සංගම් එකමුතුව, ශී‍්‍ර ලංකා ජාතික ගුරු සංගමය, කඳුරට ගුරු පෙරමුණ, ගුරු විමුක්ති පෙරමුණ, ශී‍්‍ර ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුරු සංගමය, ශී‍්‍ර ලංකා අධ්‍යාපන සමාජ සම්මේලනය, වතු ගුරු සංගමය, ජාතික ගුරු සභාව, එක්සත් ද්‍රවිඩ ගුරු සංගමය