වත්මන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ (RTI කොමිසම) සේවා කාලය එළඹෙන සැප්තැම්බර් මාසයෙන් අවසන් වන අතර නව කොමිෂන් සභා සාමාජිකයන් / කොමසාරිස්වරුන් පත් කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි (RTI Act) සඳහන් කාර්යය පටිපාටිය අනුවම සිදු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) ප්‍රකාශ කරයි.
2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි 11 වන වගන්තිය ප්‍රකාරව RTI කොමිසම පිහිටුවන අතර මෙය වසර පහක ධූර කාලයකට යටත් වේ. සභාපතිවරයෙකුගෙන් සහ සාමාජිකයන් සිවු දෙනෙකුගෙන් සමන්විත වන තොරතුරු කොමිසම පත්කිරීම, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර සිදු කරනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මතයි.
කෙසේ වුවද,20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා මෙම පත්කිරීමේ ක්‍රමවේදය මඳ වෙනසකට ලක් වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කර ඒ වෙනුවට පාර්ලිමේන්තු සභාව ස්ථාපිත කිරීම හේතුවෙනි. මෙම පත් කිරීම් සම්බන්ධව පාර්ලිමේන්තු සභාවේ කාර්යභාරය වන්නේ පනතේ නියම කර ඇති ආකාරයට නාම යෝජනා ලබා දීමට හැකියාව ඇති සිවිල් සමාජ සංවිධාන, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ජනමාධ්‍ය සංවිධාන වලින් ලබා ගන්නා වූ නාම යෝජනා පිළිබඳ නිරීක්ෂණ ජනාධිපතිවරයාට ලබා දීමයි. ජනාධිපතිවරයා විසින් එකී පත්කිරීම් සිදු කිරීමේදී පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ ඉල්ලා සිටීම අනිවාර්ය කාර්යභාරයකි.මෙහිදී TISL ආයතනය අවධාරණය කර සිටින්නේ, RTI පනතෙහි සඳහන් වන්නා වූ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය දිගින් දිගටම පවත්වාගනිමින්, ජනාධිපතිවරයා විසින් අදාළ කණ්ඩායම් හරහා ලැබෙන්නා වූ නාමයෝජනා දැඩි සැලකිල්ලකට භාජනය කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් TISL ආයතනයේ විධායක අධ්‍යක්‍ෂක නීතීඥ නදීශානි පෙරේරා මහත්මිය මෙසේ පැවසීය. "RTI කොමිසමට පසුගිය වසර 5 ක කාල සීමාව තුළ මහජනතාවගේ තොරතුරු අයිතිය ආරක්ෂා කරමින්, ප්‍රශංසනීය තීන්දු තීරණ ලබා දීමට හැකියාව ලැබුණේ එය සතු වූ ආයතනමය ස්වාධීනත්වය හේතුවෙනි. නව කොමිෂන් සභා සාමාජිකයින් පත් කිරීමේදී ද ජනාධිපතිතුමා, RTI පනතේ දැක්වෙන ක්‍රියාවලිය අනුගමනය කරමින්, ලැබෙනා නිර්දේශ මත පදනම්ව පත් කිරීම් සිදු කර, කොමිසමේ ස්වාධීනත්වය ඉදිරියටත් සුරක්‍ෂිත කරනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙනවා".
කොමිසම සඳහා සාමාජිකයන් නම් කිරීමේ සිවිල් සමාජ සංවිධාන කාර්යභාරය වෙනුවෙන් එක් වන ලෙස TISL ආයතනය පසුගියදා සිවිල් සමාජ සංවිධාන වෙත ඇරයුම් කළ අතර TISL ආයතනය ඇතුළුව අනෙකුත් සිවිල් සමාජ සංවිධාන විසින් යෝජනා කරන ලද නාමයෝජනා ලැයිස්තුව පාර්ලිමේන්තු සභාව වෙත ඊයේ දින (09.08.2021) බාර දෙන ලදී.
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව, එහි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, රාජ්‍ය තන්ත්‍රය සහ පොදු මහජනතාව එකිනෙකට සම්බන්ධ කරන්නා වූ මැදිහත්කරුවෙකු වශයෙන් කටයුතු කිරීම අපේක්ෂා කරයි. වත්මන් තොරතුරු කොමිසම පසුගිය කාල සීමාව පුරාවට, ග්‍රාමීය ජනතාවගේ පොදු මහා මාර්ග සහ ඉඩම් ආදී ගැටළුවල සිට හිටපු අග්‍රාමාත්‍යවරයාගේ වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධ නියෝගයන් ලබා දීම දක්වා ප්‍රගතිශීලී තීන්දු තීරණ රාශියක් ගැනීමට කටයුතු කර තිබෙන ආකාරයෙන් පෙනී යන්නේ, එහි සාමාජිකයින් පත් කිරීමට සහ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාම සඳහා RTI පනතේ දැක්වෙන රෙගුලාසි අනුගමනය කිරීමේ වැදගත්කමයි.
නදීශානි පෙරේරා මහත්මිය වැඩිදුරටත් මෙසේ පැවසුවාය. “RTI කොමිසමේ සාමාජිකයන්ගේ පසුබිම සහ එහි කාර්යභාරය මහජනතාවට ඍජුවම බලපාන කාරණාවන් දෙකක්. එහි සාමාජිකයන් සහ ක්‍රියාකාරීත්වය දේශපාලන බැඳියාවන්ගෙන් තොරවන තරමට, කොමිසමට ජනතාවගේ තොරතුරු අයිතිය සම්බන්ධ ගැටළු වලදී සාධාරණ විනිශ්චයන්ට එළඹීමට හැකියාව ලැබෙනවා. එම නිසා,තොරතුරු කොමිසමට සාමාජිකයන් පත් කිරීමේදී එය පනතෙහි සඳහන් වන ස්වාධීන ක්‍රියාපටිපාටියට අනුව සිදුවනවාද යන්න පිළිබඳව විමසිලිමත් වීම සම්බන්ධයෙන් මහජනතාවට ද මෙහිදී වැදගත් කාර්යභාරයක් පැවරෙනවා”
TISL ආයතනය ඇතුළු අනෙකුත් සිවිල් සමාජ සංවිධාන විසින් තොරතුරු කොමිසමේ සාමාජිකත්වය සඳහා යෝජනා කර පාර්ලිමේන්තු සභාව වෙත භාර දී ඇති නම් ලැයිස්තුව පහතින්.
