"සිළුමිණ" බොරුව ගැන ජනමාධ්‍ය ඇමතිගෙන් අසයි

"සිළුමිණ" බොරුව ගැන ජනමාධ්‍ය ඇමතිගෙන් අසයි

ගුරු උද්ඝෝෂණයට එක්වූ ගුරුවරුන්ට කොරෝනා හැදිලා. මරණ 25 යි ආසාදිතයන් 400 යි’’ යනුවෙන් සිළුමිණ පුවත්පතේ පළ වූ අසත්‍ය පුවත පිළිබඳව සොයා බලා පියවර ගන්නා ලෙස ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් ගුරු-විදුහල්පති වෘත්තිය සමංගම් විසින් ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ඔබ යටතේ ඇති පුවත් පත් ආයතනයක් විසින් මුද්‍රණය කරන ප‍්‍රධාන ජාතික පුවත්පතක් වූ සිළුමිණ පුවත්පතේ  2021.08.29 වන ඉරිදා කලාපයේ මුල් පිටුවේ ‘‘ගුරු උද්ඝෝෂණයට එක්වූ ගුරුවරුන්ට කොරෝනා හැදිලා. මරණ 25යි ආසාදිතයන් 400 යි’’ යනුවෙන්  පදනම් විරහිත අසත්‍ය පුවතක් පළ විය. කෝවිඞ් රෝගයට ගොදුරු වීමෙන් මේ වන විට පාසල් ගුරුවරු 25 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවත්, මියගිය ඒ සියලූ දෙනා පසුගියදා පැවති ගුරු උද්ඝෝෂණවලට සහභාගි වූ අය බවත්, මේ වන විට ගුරු උද්ඝෝෂණවලට සහභාගි වූ 400 කට ආසන්න පිරිසක් කෝවිඩ් ආසාදනයට ලක්ව ඇති බවත් අදාළ පුවතේ සඳහන් කර ඇත.

ජාතික පුවත්පතක් වන සිළුමිණ පුවත්පතේ මේ ආකාරයෙන් අසත්‍ය පුවත් වාර්තා කිරීම මේ වන විට ගුරුවරු සහ විදුහල්පතිවරු විසින් දියත් කර ඇති වෘත්තීය කි‍්‍රයාමාර්ගය සම්බන්ධයෙන් වෛරී හැඟීමක් ඇති කරවන අතර, මෙම අසත්‍ය පුවත ගුරුවරුන්ට කරන ලද බරපතල අපහාසයකි.

පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ මහත්මිය සිළුමිණ පුවත්පතට හෙළිකළ බව පවසා සුභාෂිණී ජයරත්න නම් මාධ්‍යවේදිනියක විසින් පළකර ඇති මෙම පුවතේ කෝවිඞ් ආසාදිතව මියගියේ යයි සඳහන් 25 දෙනාගේ නම් හෝ සඳහන් නොවන අතර, සෞඛ්‍ය අංශ විසින් තහවුරු කළ යුතු කරුණක් පොදු ජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනිය පැවසූයේ යයි සඳහන් කරමින් සිළුමිණ පුවත්පතේ මුල් පිටුවේම පළ කරන්නේ කුමන මාධ්‍ය සදාචාරයක් අනුගමනය කරමින් ද යන්න බරපතල ගැටලූවකි. 

ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලූව විසඳීමට පත් කළ අමාත්‍ය අනු කමිටුව නියෝජනය කරමින් සිටියදී ඔබ යටතේ පවතින රාජ්‍ය මාධ්‍ය ආයතනයක ප‍්‍රධාන පුවත්පතක් මේ ආකාරයෙන් ගුරුවරුන් සහ ගුරු අරගලයට සම්බන්ධයෙන් අසත්‍ය පුවත් වාර්තා කිරීම බරපතල කනගාටුදායක තත්වයක් වන අතර ඒ සම්බන්ධයෙන් අපගේ දැඩි අප‍්‍රසාදය පළ කර සිටිමු.

එසේම  සිළුමිණ පුවත්පතේ පළ වූ මෙම අසත්‍ය පුවත සම්බන්ධයෙන් වහා සොයා බලා එම පුවත සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.    

එම ලිපිය යවා ඇත්තේ පහත සඳහන් ගුරු-විදුහල්පති සංගම් විසිනි.                                                                                     

ලංකා ගුරු සංගමය, ලංකා ගුරුසේවා සංගමය, විදුහල්පති සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, ඒකාබද්ධ ගුරු සේවා සංගමය, ශී‍්‍ර ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය, කතෝලික ගුරු සංගමය, පුහුණු විද්‍යාපීඨ හා උපාධිධාරි ගුරු සංවිධානය,          ලංකා ගෘහ වි. හා කෘෂි වි. ඩිප්ලෝ: සංගමය, ශී‍්‍ර ලංකා ඉස්ලාම් ගුරු සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය, ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය, සමස්ත ලංකා ගුරු උපදේශකවරුන්ගේ සංගමය, ලංකා ප‍්‍රගති ගුරු සංගමය ශ්‍රේණිධාරී විදුහල්පති සංගම් එකමුතුව, ශී‍්‍ර ලංකා ජාතික ගුරු සංගමය, කඳුරට ගුරු පෙරමුණ, ගුරු විමුක්ති පෙරමුණ, ශී‍්‍ර ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුරු සංගමය, ශී‍්‍ර ලංකා අධ්‍යාපන සමාජ සම්මේලනය, වතු ගුරු සංගමය, ජාතික ගුරු සභාව, එක්සත් ද්‍රවිඩ ගුරු සංගමය