යුධ හමුදාවට ෆයිසර් එන්නත්කරණය ලබාදීම වෛද්‍ය සංගමයෙන් විරෝධයක්

යුධ හමුදාවට ෆයිසර් එන්නත්කරණය ලබාදීම වෛද්‍ය සංගමයෙන් විරෝධයක්

යුද හමුදාවට එන්නත්කරණය සම්බන්ධ පූර්ණ බලය ලබා දීමේ තීරණය පිළිබදව සිය සංගමය දැඩි විරෝධය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (30) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් අවධාරණය කරයි.

මෙම අවිධිමත් වැඩපිළිවෙළ හැකි ඉක්මනින් නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු ගන්නා ලෙස ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යවරයා ලිඛිතව දැනුවත් කිරීමට තම සංගමය අද දින කටයුතු කළ බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කළ එම නිවේදනය සම්පුර්ණයෙන් පහත දැක්වේ.

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිලිවෙල ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙන්ම ජාත්‍යන්තර පැසසුමට ලක්ව සෞඛ්‍ය දර්ශක ලොව දියුණු රටවල මට්ටමට ගෙන ඒමට ඉවහල් වු ක්‍රමවේදයකි.

නමුත් කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලියේදි එම වැඩපිළිවෙළ ඉතා ආක්‍රමික ලෙස සිදු වන ආකාරය පිළිබද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දුනි.

කොවිඩ් රෝගය යනු මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවකි. එය පාලනය කිරීම සදහා තාක්ෂණික දැනුම ඇත්තේ සෞඛ්‍ය අංශයට වන අතර එන්නත්කරණ වැඩපිළිවෙළ සහ වසංගතය පාලනය සදහා එහි තාක්ෂණික තීන්දු තීරණ වසංගත රෝග විද්‍යා අංශය හා සෞඛ්‍ය අමාත්‍යංශය ගත යුතුය.

නමුත් වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු මත පමණක් පදනම්ව තීන්දු තීරණ ගැනීම නිසා උද්ගතව ඇති ගැටලුව පිළිබදව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පසුගිය සිකුරාදා (27) නව සෞඛ්‍ය අමාත්‍යතුමන් සමග පැවති සාකච්ඡාවේදි පෙන්වා දෙන ලදි.

එහිදි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඉල්ලා සිටියේ වසංගත පාලනය හා එන්නත්කරණ වැඩපිළිවෙළ සදහා නායකත්වය සෞඛ්‍ය අමාත්‍යංශය ලබා දිය යුතු බවත්, එන්නත්කරණ වැඩපිළිවෙළ ඇතුළු වසංගත පාලනය පිළිබද තීන්දු තීරණ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වගකීම් 6 අනුව විශේෂඥ කමිටු 6 ක් පිහිටුවා, මහජන සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය එස්. එම්. ආනෝල්ඩ් මහතාගේ ඍජු අධීක්ෂණයෙන් සිදු විය යුතු බවත්ය.

තවද රට පුරා විහිදි ඇති අපගේ ශාඛා සංගම් පෙන්වා දෙන පරිදි ප්‍රමාණවත් තරම් එන්නත් මාත්‍රා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සහ රෝහල් වලට නිකුත් කර නොමැති මොහොතක රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිතුමන් ඇතුළු විවිධ පාර්ශව මාධ්‍යයට පැමිණි සිදු කරන ප්‍රකාශ වලින් ජනතාව දැඩි අපහසුතාවයට පත් වී ඇත.

මේ මොහොතේ සෞඛ්‍ය අංශය වයස අවුරුදු 60 ට වැඩි ජනතාවට ප්‍රමුඛත්වය දෙමින් එන්නත්කරණය කිරීම සදහා එන්නත් මාත්‍රා නිකුත් කර ඇති මොහොතක වයස අවුරුදු 30 ට වැඩි සියලු දෙනාහට ඕනෑම මාත්‍රාවෙන් ලබාගැනිමට හැකි බව මාධ්‍ය වෙත ප්‍රකාශ සිදු කළ ද, එලෙස ප්‍රමාණවත් ලෙස මාත්‍රා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සහ රෝහල් වෙත ලබා දී නැත. එමගින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ එන්නත්කරණය සඳහා යොමුව ඇති රෝහල් අද වන විට දැඩි අසීරුතාවයකට පත්ව ඇත.

එලෙස යම් පාර්ශ්වයකට යෝජනාවක් ඇත්නම් එම යෝජනාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය එස්. එම්. ආනෝල්ඩ් මහතාගේ කේන්ද්‍රිය නායකත්වයෙන් යුත් වසංගත රෝග විද්‍යා අංශයේ එන්නත්කරණ කමිටුව වෙත යොමු කළ යුතු බවත්, එමගින් ජනතාව  සහ සෞඛ්‍යය අංශය අපහසුතාවයට පත්වීම වලක්වාගත හැකි බවත් අපි පෙන්වා දෙමු.

එමෙන්ම (29) දිනයේ මාධ්‍ය වාර්තා අනුව ෆයිසර් (Pfizer) එන්නත ලබා දීමේ පූර්ණ බලය යුද හමුදාවට ලබා දුන් බව හමුදාපතිතුමන් ප්‍රකාශ කළ බව සදහන් වේ.

මෙම එන්නත්කරණ වැඩිපිළිවෙලේදි එන්නත් ලබා දිය යුතු ක්‍රමවේදය, එන්නත් බෙදා හැරීම සහ එන්නත් ලබා දීම සෞඛ්‍ය අංශ මගින් සිදු විය යුතු ක්‍රියාවක් බවත්, ඊට අදාළ සියලු තීන්දු තීරණ සෞඛ්‍යය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. එම්. ආනෝල්ඩ් මහතාගේ මූලිකත්වයෙන් පිහිටවූ එන්නත්කරණය පිළිබඳ වසංගත රෝග විද්‍යා අංශයේ කන්ද්‍රිය ස්ථානයකින් සිදු විය යුතු  බවත් අවධාරණය කරන අතර, මෙලෙස යුද හමුදාවට එන්නත්කරණය සම්බන්ධ පූර්ණ බලය ලබා දීමේ තීරණය පිළිබද දැඩි විරෝධය අපි පල කර සිටිමු.

මෙම අවිධිමත් වැඩපිළිවෙළ හැකි ඉක්මනින් නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු ගන්නා ලෙස ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යතුමන් ලිඛිතව දැනුවත් කිරීමට අද දිනයේ අප කටයුතු කරනු ලැබීය.

ජාත්‍යන්තරයේ පැසසුමට ලක්ව ඇති අපගේ එන්නත්කරණ වැඩපිළිවෙල හා සෞඛ්‍ය අංශය මෙතෙක් ඒම පැසසුමට ලක්වුයේ සෞඛ්‍ය අංශය විසින් ලබා දුන් නායකත්වය තුලින් බව නැවතත් අවධාරණය කර සිටිමු.