ස්පුට්නික් දෙවන මාත්‍රාව නොලැබීමෙන් මහනුවර රාජ්‍ය නිලධාරින් අනතුරේ

ස්පුට්නික් දෙවන මාත්‍රාව නොලැබීමෙන් මහනුවර රාජ්‍ය නිලධාරින් අනතුරේ

මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයින් සඳහා ස්පුට්නික් එන්නතේ දෙවැනි මාත්‍රාව නොලැබීම නිසා Covid-19 නිරෝධායන පවුල් වෙත භාණ්ඩ මලූ රැගෙන යෑම හා  Covid රාජකාරීවල යෙදීම අවධානම්ව සිටින බැවින් කඩිනමින් ස්පුට්නික් දෙවන එන්නත් මාත්‍රාව ලබාදීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් සංවර්ධන නිලධාරී සේවා සංගමය ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ස්පුට්නික් V එන්නත් 150 000 කට ආසන්න පිරිසක් සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ දී එන්නත්කරණය සිදු කර ඇත. එම පිරිසට මහනුවර දිස්ත‍්‍රික්කයේ රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් හා කාර්යාලගත නිලධාරීන් ද ඇතුළත් වූ අතර එම කිසිඳු රාජ්‍ය සේවකයෙකු සඳහා ස්පුට්නික් V එන්නතේ දෙවන මාත්‍රාව මේ දක්වා ලබා දී නොමැති බව වාර්තා වේ.

Covid-19 වෛරසය හා එහි නව ප්‍රභේද ගණනාවක් රටපුරා සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින බව මෙරට සෞඛ්‍ය අංශ බලධාරීන් තොරතුරු අනාවරණය කර ඇත. එවන් වටපිටාවක රටේ ජනතාව මාරාන්තික වෛරසයෙන් බේරාගැනීමට කල හැකි එකම ආරක්ෂිත පියවර එන්නත්කරණය බවට මේ වනවිට ආණ්ඩුව පිළිගෙන ඇති අතර අදාළ එන්නත් මාත්‍රා 02 ම ජනතාවට ලබාදීම ආණ්ඩුවේ වගකීම බව අපි පෙන්වා දෙන්නෙමු.

මෙරටට ලැබුණු ස්පුට්නික් V එන්නත ලබාදෙනු ලැබුවේ මහනුවර දිස්ත‍්‍රික්කයට හා කොළඹ දිස්ත්‍රික්කයේ ගොතටුව ප්‍රදේශවලට බව වාර්තා වේ. ඒ අනුව නුවර දිස්ත්‍රික්කයේ ඉහත එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් රාජ්‍ය සේවකයින්ට අදාළ එන්නතේ 02 වන මාත්‍රාව ලැබී නැති බවත් ඒ අනුව ඔවුන්ට මහජනතාව හා සම්බන්ධවෙමින් රාජකාරීවල යෙදීම පිළිබඳ අවධානම් තත්වයක් උද්ගතව ඇති බව ඔවුන් අපවෙත දැනුම් දී ඇත.

මේ වනවිට කුණ්ඩසාලේ, තෙල්දෙණිය, ගඟවට කෝරළය, පස්බාගේ, පාතදුම්බර හා මහනුවර නගරසීමා යන ප්‍රදේශවල සමාන්‍ය මහජනතාවට මෙන්ම රාජ්‍ය ආයතනවල කාර්යමණ්ඩල සඳහා ස්පුට්නික් V එන්නතේ දෙවන මාත්‍රාව හිමි වී නොමැතිබව වාර්තාවන කරුණු අනුව වැඩිදුරටත් සඳහන් කරමු.

වෛරසයේ ව්‍යාප්තිය ඉහළයාමත්, රජයේ නිලවාර්තා වලට වඩා රෝගීන් හා මරණ සංඛ්‍යාව ඉහළ අගයක් ගෙන ඇති බවට ජනතාව තුළ පවතින සැකය හේතුවෙන් අදාළ එන්නත් මාත්‍රා 02 ම නොලබා අවධානමක් දරාගනිමින් කාර්යාල හා ක්ෂේත්‍ර රාජකාරී සිදු කිරීම ගැටළු සහගත බව මහනුවර දිස්ත්‍රික් රාජ්‍ය ආයතනවල කාර්යමණ්ඩල වැඩිදුරටත් පවසයි.

ඒ අනුව ස්පුට්නික් V එන්නතේ දෙවන මාත්‍රාව කඩිනමින් ලබා දීමට පියවර ගන්නා මෙන් ඉල්ලන අතර එතෙක් Covid-19 නිරෝධායන පවුල් වෙත භාණ්ඩ මලූ රැගෙන යෑම ඇතුළු Covid රාජකාරීවල යෙදීම අවධානම් බැවින් එම රාජකාරීවලින් වැළකී සිටීම පිළිබඳව අවධානය යොමු කර ඇති බව ද මෙයින් දන්වා සිටිමු.