තැපැලේ එකඟවූ කටයුතු කඩකරමින් නව චක්‍රෙල්ඛයක් නිකුත් කරලා

තැපැලේ එකඟවූ කටයුතු කඩකරමින් නව චක්‍රෙල්ඛයක් නිකුත් කරලා

කොවිඩ් 19 වසංගත තත්ත්වය තුල රට වසා දමා ඇති අවස්ථාවක තැපැල් දෙපාර්මේන්තු රාජකාරී පවත්වාගෙන යාම සම්බන්ධව 2021.08.25 දින සාකච්ඡාවේදී ගත් එකගතාවන් පරිදි කටයුතු නොකර 2021.08.30 දින ඔබ තුමන් විසින් නිකුත් කර ඇති චක්‍රලේඛනයේ අනුව ඉටු කිරීමට එකගවී ඇති රාජකාරී කටයුතු හැර අනෙකුත් කටයුතු ක්‍රියාත්මක කරන්නේ නම් රට වැසීමේදී රජය විසින් අපේක්ෂා කර ඇති අරමුණු සාර්ථක කර ගැනීමට නොහැකි වනු ඇති බව තැපැල් වෘත්තීය සමිති බලය එකමුතුව විසින් වැඩබලන තැපැල්පතිවරයා වෙත ලිපියක් යවා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,  ඉහත කරුණට අදාල 2021.08.25 ඔබ තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති  සාකච්ඡාවේ දී ගනු ලැබූ තීරණයක් තැපැල් පරිපාලනය විසින් එකින් එක කඩකරමින් කටයුතු කරන බව ඉතා කනගාටුවෙන් යුතුව දැණුම් දෙමි. මෙහිදී පවතින වසංගත තත්ත්වය තුල සේවකයිගේ මෙන්ම පොදු මහජනතාවගේ ජීවිතවලට සිදුවන බරපතල අවදානම් තත්ත්වය පිළිබද කිසිදු තැකීමක් සිදුනොකර කටයුතු කරන බව අද දින මේ සම්බන්ධයෙන් ඔබ තුමන් විසින් නිකුත්කර ඇති චක්‍රලේඛනය මගින් පැහැදිලි වේ.

  1. උක්ත සාකච්ඡාව පවත්වන විට රටතුල පැවති අවදානම් තත්ත්වය මේ ‍මොහොත වන විටත් සැලකිය යුතු මට්මකින් අඩු වී නොමැත.දෛනිකව ආසාදනයට ලක්වන පිරිස මෙන්ම දෛනිකව මිය යන පිරිසද ඉහල මට්ටමක පවතී. මෙවැනි තත්ත්වයක් තුල එම රැස්වීමේදී ගත් තීරණයන් සංශෝධනය කර මහජන සේවා පවත්වාගෙන යාමට කටයුතු කිරීම පෙර අප සදහන් කළ පරිදිම රටේ විශාල ආදායමක් අවහිරකර ගනිමින්, රටේ ජනතාව දැඩි කැපකිරීමක් කරමින් සිදුකර ඇති මෙම රට වැසීමෙන් අපේක්ෂිත අරමුණු ඉටු නොවනු ඇත. මෙම උපදෙස් තුල තැපැල් භාණ්ඩ බෙදීමට සම්බන්ධවන සේවකයින් වෛරසය රැගෙන යන වාහකයින් බවට පත්වී අපගේ සහෝදර  සේවකයින් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සමීපතමයින්ද අපගේ පාරිභෝගික බවතුන්ද දැඩි අනතුරකට පත්වීම සිදුවනු ඇතැයි අප තරයේ විශ්වාස කරමු.
  2. උක්ත රැස්වීමේදී ඇතිකර ගත් එකඟතාවන් පරිදි ඖෂධ පැකැට් බෙදීම සහ මානුෂික කරුනක් සේ සලකා මහජනාධාර, රෝගාධාර, වැඩිහිටි දීමනා, විශ්‍රාම වැටුප් වැනි ගෙවීම් සිදුකිරීම සදහා පමණක් සීමිති දින ගණනක් කවුළු විවෘත කිරීමට අප එකඟතාවය පලකළ අතර මෙහිදී කිසිදු තැපැල් භාණ්ඩයක් භාර නොගතයුතු බවටද එකඟතාවය ප්‍රකාශවිය.එමෙන්ම ඉන්පසු පොලීස් දෙපාර්මේන්තුවේ වැටුප් අඩංගු තැපැල් භාණ්ඩ බෙදීම් කිරීමටද අප අත්‍යාවශ්‍ය කරුනක් සේ සලකා කටයුතු කළ බව ප්‍රකාශ කරමු. ඒ අනුව මෙම සියළු තත්ත්වයන් වෙනස් කර ඔබ තුමන් විසින් 2021.08.30 දින නිකුත් කර ඇති චක්‍රලේඛනයට අනුව සියළු තැපැල් කාර්යාල විවෘත කර කවුළුවලින් තැපැල් භාණ්ඩ භාරගැනීම සහ තැපැල් භාණ්ඩ බෙදා හැරීම මෙන්ම ගිණුම් කටයුතු වැනි අභ්‍යන්තර රාජකාරී සියල්ල ඉටු කිරීම  තුලින් සාමාන්‍ය පරිදි කටයුතු කිරීමේ තත්ත්වයක් නිර්මාණය වන බව ප්‍රකාශ කරන අතර මෙම තත්ත්වයට එකග විය නොහැකි බව කනගාටුවෙන් වුවද දන්වා සිටිමු.
  3. ඖෂධ පැකැට් බෙදීම සහ මානුෂික කරුනක් සේ සලකා මහජනාධාර,රෝගාධාර,වැඩිහිටි දීමනා,විශ්‍රාම වැටුප් වැනි ගෙවීම් සිදුකිරීම, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පොලිස් දෙපාර්මේන්තුවේ සහ ආරක්ෂක හමුදාවල අත්‍යාවශ්‍ය මෙන්ම සදහන් කර ඇති අයාතනවල වැටුප් අඩංගු තැපැල් භාණ්ඩ නිවැරදිව හදුනාගෙන සුදුසු ක්‍රමයක් මගින් බෙදා හැරීම සදහා පමණක් අප කටයුතු කරන අතර මෙම අනාරක්ෂිත අවස්ථාවේ විසිතුරු ත්‍යාග භාණ්ඩ අඩංගු DARAZ ආයතනයේ පාර්සල් හෝ වානිජ පදනමින් විවිධ ව්‍යාපාරික ආයතන විසින් බෙදාහැරීම භාරදෙන විවිධ භාණ්ඩ අත්‍යාවශ්‍ය භාණ්ඩ ලෙස අර්ථකථනය කර බෙදා හැරීමට කටයුතු කිරීම තුල අපගේ සේවකයින් මෙන්ම මහජනතාව අනවශ්‍ය අනාරක්ෂිත තත්ත්වයකට පත්කර ඇත. එබැවින් මෙම කටයුතු සදහා අප හට කිසිසේත් එකගවිය නොහැකි බව නැවතත් කරුණිකව දන්වමි.
  4. පෙර සදහන් කළ සාකච්ඡාවේදී මධ්‍ය තැපැල් හුවමාරුවේ සිට පිට පළාත් සදහා තැපැල් ප්‍රවාහනය සිදු කිරීමේදී ඖෂධ බෙදීම සදහා ඖෂධ පැකැට් ඇති කාර්යාලවලට පමණක් තැපෑල ප්‍රවාහනය කරන බවට එකඟතාවය පළ වුවද දැනට ඖෂධ පැකැට් බෙදීම් නොකර හෝ බෙදීම සදහා ඖෂධ පැකැට් නොමැති කාර්යාලවලට පවා තැපැල් ප්‍රවාහනය කරන බව දැන ගන්නට ඇති අතර මෙලෙස ප්‍රවාහනය කරන තැපැල් මළු තුල විදේශිය හෝ දේශිය ලිපි කිහිපයක් පමණක් ඇති බවද දැන ගන්නට ඇත. මෙම තත්ත්වය ප්‍රායෝගික නොවන තත්ත්වයක් වන අතර මධ්‍ය තැපැල් හුවමාරුවේ සේවකයින් සේවයේ යෙදවීමේ අවශ්‍යතාවය මත මෙලෙස සිදුකරන බවටද සැකයක් මතුවේ.එමෙන්ම මෙහිදී මෙම කටයුතු මෙහෙවීම සදහා අතිකාල සහ ප්‍රවාහන වියදම් ද ඇතුළුව සැලකිය යුතු පිරිවැයක් දරන අතර ඊට සාපේක්ෂකව ඉතා පහල ආදායමක් ලබන තත්ත්වක්ද දක්නට ඇත. ප්‍රබල ආර්ථික අර්බුධයක් පවතින තත්ත්වයක් තුල මෙය සිදුකළ යුතු ද කටයුත්තක්ද යන්න නැවත් වරක් සලකා බැලිය යුතු කරුණකි.
  5. එමෙන්ම ගම්පහ උතුර සහ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය තැපැල් අධිකාරී තුමන්ලා විසින් තම අධිකාරීබලය අයුතු ලෙස භාවිතා කරමින් උපදෙස් පත්‍රිකා නිකුත් කරමින් ගෙයින්ගෙට ගොස් විවිධ තැපැල් කටයුතු සිදුකිරීමට ප්‍රදේශයේ තැපැල් සේවකයින් බලහත්කාරයෙන් යොදවා ඇති බවද දැනගන්නට ඇත. පෙර සදහන් කළ ඔබ තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී චක්‍රලේඛන නිකුත් කිරීමේ බලය තැපැල් මූලස්ථාන නිළධාරීන්ට පමණක් පැවරූ අතර එවැනි තත්ත්වයක් තුල මෙලෙස කටයුතු කරන්නේ කෙලෙසද යන්න ගැටළුවක් මතු වී ඇත. එමෙන්ම තැපැල් දෙපාර්මේන්තුවේ පවතින නෛතික තත්ත්වයන්ද අභියෝගයට ලක්කරමින් මධ්‍ය තැපැල් හුවමාරුවේ නිළධාරීන් දෙපාර්මේන්තු වාහන යොදා ගනිමින් පිට පළාත්වල තැපැල් කාර්යාලවල තැපැල් භාණ්ඩ බෙදීමට පවා කටයුතු කර ඇති බව දැනගන්නට ලැබුණු අතර මෙවැනි ක්‍රියා විධිමත් අයුරින් සංවිධානය වී ඇති ආයතනයක සිදු නොවිය යුතු කරුණු ලෙස අප විශ්වාස කරමු.
  6. මේ වන විට විවිධ පළාත් වල ඉහත පරිදි විවිධාකාරයෙන් ප්‍රාදේශිය පරිපාලනය කටයුතු කරන අතර මෙම තත්ත්වය වලක්වන ලෙසත් අනවශ්‍ය පරිදි තැපැල් ප්‍රවාහන කටයුතු සිදුකර සේවකයින් කාර්යාලවලට ගෙන්වීම සිදු නොකරන ලෙසත් අප විසින් ඔබතුමන්ගෙන් ඉල්ලා ලිඛිතව කරුණු ඉදිරිපත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකර සේවකයින්ගේ ජීවිත අනාරක්ෂිත කරමින් හා වෛරසය පැතිරීමට ඉඩකඩ සලසමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් පර්යන්ත කාර්යාලවල සේවය කරන සේවක කණ්ඩායම් දැඩි විරෝධය පලකරන බැවින් මෙලෙස කටයුතු කිරීම වහාම නතර කර එකඟතාවය පරිදි අත්‍යාවශ්‍ය මහජන සේවා පමණක් අවම සේවක පිරිසක් යොදා ගනිමින් සිදුකරන ලෙස කාරුනිකව ඉල්ලමු. එමෙන්ම සතියෙන් සතිය යම් යම් නිළධාරීන්ගේ අවශ්‍යතා පරිදි චක්‍රලේඛන නිකුත් කරමින්  කටයුතු ව්‍යාකූල නොකර සේවකයින්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාව පිළිබද දැඩි සැලකිල්ල යොමුකර කටයුතු කරන ලෙස ඉල්ලමු. මේ අනුව පෙර සදහන් කළ පරිදි රට නැවත සාමාන්‍ය පරිදි විවෘත කරන තෙක් ඖෂධ පැකැට් බෙදීම සහ මානුෂික කරුනක් සේ සලකා මහජනාධාර,රෝගාධාර,වැඩිහිටි දීමනා,විශ්‍රාම වැටුප් වැනි ගෙවීම් කිරීම, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ අත්‍යාවශ්‍ය ලිපි බෙදා හැරීම මෙන්ම සදහන් කර ඇති ආයතනවල වැටුප් අඩංගු තැපැල් භාණ්ඩ පමණක් නිවැරදිව හදුනාගෙන බෙදා හැරීම වැනි අත්‍යාවශ්‍ය කටයුතු පමණක් සිදුකරන ලෙසත් ආසාදනයට ලක්වන සේවකයින් සහ ඔවුගේ පවුල්වල සමාජිකයින්ට දෙපාර්මේන්තුව මගින් අවම සහනයක්වත් සපයා නොමැති තත්ත්වයක් තුල ඔවුන්ව අනවශ්‍ය පරිදි සේවයට කැදවා අනාරක්ෂිත තත්ත්වකට පත් නොකරන ලෙසත් මහත් ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු නොකර 2021.08.25 දින සාකච්ඡාවේදී ගත් එකගතාවන් පරිදි කටයුතු නොකර 2021.08.30 දින ඔබ තුමන් විසින් නිකුත් කර ඇති චක්‍රලේඛනයේ සදහන් අප විසින් ඉටු කිරීමට එකගවී ඇති රාජකාරී කටයුතු හැර අනෙකුත් කටයුතු ක්‍රියාත්මක කරන්නේ නම් රට වැසීමේදී රජය විසින් අපේක්ෂා කර ඇති අරමුණු සාර්ථක කර ගැනීමවෙනුවෙන් සහ අපගේ සේවකයින්ගේත් සමස්ථ රටවැසියන්ගේත් අරක්ෂාව වෙනුවෙන් අප සංවිධානයට අයත් සියළු සංගම්වලට දැඩි තීරණයන්ට අවතීර්ණය වීමට සිදුවන බවත් අප සංවිධානයට අයත් සියළුම සංගම්වල ප්‍රාදේශිය නායකයින් මෙන්ම ජාතික මට්ටමේ නායකයින්ද එකම අරමුණක පිහිටා කටයුතු කරන අතර අප සියළු දෙනාගේම අරමුණ ජනජීවිත ආරක්ෂා කරමින් කටයුතු කිරීම බවත් වැඩිදුරටත් දන්වා සිටිමි.

මේ පිළිබද ඔබ තුමන්ගේ ඉක්මන් මැදිහත් වීම අප ඉතා ගෞරවයෙන් අපේක්ෂා කරමු.

මෙම ලිපියට අත්සන් තබා ඇති වෘත්තී සමිති වනුයේ,

තැපැල් සහ විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමය, ශ්‍රි ලංකා තැපැල් සහ විදුලි සංදේශ සේවා සංගමය, ජතික තැපැල් සහ විදුලිසංදේශ සේවක සංගමය, එක්සත් ජාතික තැපැල් සේවක සංගමය,ශ්‍රි ලංකා නිදහස් තැපැල් වෘත්තීය වේදීන්ගේ සංගමය, ලංකා තැපැල් සේවා සංගමය