නිරෝධායන ඇදිරි නීති කාලසීමාව දික්කිරීම තුළ තැපැල් සේවා කටයුතු පවත්වාගෙන අර්බුදයක් වෙලා

නිරෝධායන ඇදිරි නීති කාලසීමාව දික්කිරීම තුළ තැපැල් සේවා කටයුතු පවත්වාගෙන අර්බුදයක් වෙලා

නිරෝදායන ඇදිරි නීතිය මේ මස 21 දින දක්වා දීර්ඝ කර ඇති තත්ත්වයක් යටතේ තව දින 10ක කාලයක් තවදුරටත් රට වසා දැමීම හේතුවෙන් ඔබතුමන්  විසින්  නිකුත් කර  ඇති 2021.09.04 දිනැති වක්‍රලේඛනයට අනුගතව කටයුතු කිරීමට සිදුව ඇති අතර, එම චක්‍ර ලේඛය අනුව කටයුතු වලදි ඇතිවන බාධා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කරුණු ඇතුළත් ලිපියක් තැපැල්පතිවරයා වෙත, තැපැල් වෘත්තීය එකමුතුව විසින් ලිපියක් යොමු කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

2. මෙම චක්‍රලේඛනය අනුව දැනට රටපුරා තැපැල් සේවා කටයුතු පවත්වාගෙන යාමේදී එහි සඳහන් සමහර කරුණු  ප්‍රාදේශීය තැපැල් පරිපාලනය විසින් යම් යම් ස්ථානවලදී උල්ලංඝනය කරමින් කටයුතු කරන බව දැනගන්නට ඇත. එමෙන්ම මෙම කරුණුවලට අදාළව අප සංවිධානය විසින් 2021.09.05 දින ඔබ තුමන් වෙත තැපැල් කාර්යාලවල රාජකාරී ඉටු කිරීමේදී සේවකයින්ට මුහුණ දීමට සිදුවන ගැටළු සම්බන්ධයෙන් සවිස්තර ලිපියක් ඉදිරිපත් කර ඇත. එම ලිපිය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති අතරම එම ලිපියේ සඳහන් ගැටළු සම්බන්ධයෙන්ද මේ දක්වා සාධනීය මට්ටමින් විසදුම් ලබා දී නොමැති බවද මෙහිදී ප්‍රකාශ කළ යුතුව ඇත. මේ අනුව සේවකයින් තම රාජකාරී දැඩි පීඩාකාරී තත්ත්වයක් තුල ඉටු කරනු ලබන බව  ඉතා කනගාටුවෙන් යුතුව දන්වා සිටිමු. විශේෂයෙන් ම පොදු ප්‍රවාහනය විධිමත් අයුරින් ක්‍රියාත්මක නොවීම තුල සියළු නිළධාරීන්ට, උප තැපැල් ස්ථානාධිපති වරුන්ට මෙන් අනෙකුත් ශ්‍රේණිවල සේවකයින්ට පෞද්ගලික කුලී රථ සදහා රු.1000.00 / 1500.00 ආදී වශයෙන් සැලකිය යුතු මුදලක් ගෙවමින් දෛනික සේවයට වාර්තා කිරීමට සිදුව ඇත. මෙම අය සදහා ප්‍රවාහන පහසුකම් ලබා දෙන ලෙස අප විසින් අවස්ථා කිහිපයකදී ඉල්ලා ඇතත් බොහෝ පිරිසකට එම පහසුකම් ලබානොදී සේවයට කැදවීම තුල එම සේවකයන් දැඩි අපහසුතාවයකට පත්කර ඇති බව ඉතා කනගාටුවෙන් දන්වා සිටිමු.

3. එමෙන්ම අධික නිළධාරී පුරප්පාඩු ප්‍රමාණයක් සහිතව කාර්යාල කටයුතු කරන අතර මෙහිදී නිළධාරීන්ට හිමි යම් ප්‍රතිලාභ කප්පාදු කර ප්‍රාදේශිය පරිපාලනය ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කරමින් සේවකයින්ගේ අයිතිවාසිකම් අමු අමුවේම  උල්ලංගනය කරමින් සිටියි. එමෙන්ම විවිධ අපහසුතා තුල සේවයට පැමිණීමට නොහැකි සේවකයින්ට හානිදායක අයුරින් කටයුතු නොකරන ලෙස අප විසින් කරන ලද ඉල්ලීම බැහැර කරමින්   ඔවුන්ට නිවාඩු ලකුණු කරමින් කටයුතු කරන බවද  දැනගන්නට ඇත.

4. පවතින වසංගත තත්ත්වය තුල ආයතන කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් පනවා ඇති උපදෙස් පවා කඩකරමින් දෙපාර්මේන්තුවේ යම් යම් ප්‍රාදේශීය මාණ්ඩලික නිළධාරීන් කටයුතු කරමින් සිටින බව ද  ඉතා කගාටුවෙන් යුතුව දන්වා සිටිමු.

5. මෙහිදී තවදුරටත් රට වසා ඇති තත්ත්වයක් තුල තැපැල් කටයුතු සිදුකරන්නේ නම් පහත කරුණූ කෙරේ ඔබ තුමන්ගේ දැඩි අවධානය යොමු කරවන ලෙස කාරුනිකව ඉල්ලමු.

  • මේ දක්වා රට වසා ඇති තත්ත්වයක් තුල පොදු ප්‍රවාහනය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පෞද්ගලික වාහන යොදාගමින් රාජකාරියට වාර්තා කිරීම වෙනුවෙන් දැරීමට සිදුවු පිරිවැය නැවත ලබා ගැනීම වෙනුවෙන් ඉල්ලුම් කර ඇතැත් බොහෝ ප්‍රාදේශිය පරිපාලනය විසින් මෙතෙක් එම ගෙවීම්  සිදුකර නොමැති බව දැන ගන්නට ඇත. මෙම සියළු ගෙවීම් එළබෙන සතියේ පළමු දින දෙක ඇතුලත ගෙවීම් සිදුකර අවසන් කරන ලෙස ඉල්ලමු.
  • දැඩි අවදානමකට ලක්ව ඇති සේවක කණ්ඩායම් සඳහා සහනයක් සැලසීම වෙනුවෙන් රට වසා කටයුතු කරන ඉදිරි කාලය තුල තැපැල් කාර්යාල කටයුතු සඳහා දින හතරක් පමණක් තැපැල් කාර්යාල විවෘත කරන ලෙස ඉල්ලා සිටින අතර මෙහි දී බදාදා සහ බ්‍රහස්පතින්දා දිනයන්හී තැපැල් කාර්යාල විවෘත නොකර ලෙස ඉල්ලමු.
  • පළාත් අතර සංචරන සීමා නිසා ගමන් කිරීමට නොහැකි නිළධාරීන්ට තමා පදිංචි ප්‍රදේශයේ ආසන්න තැපැල් කාර්යාලයක සේවය කිරීමට අවස්ථාව ලබා දී තිබුනද සමහර ප්‍රදේශිය නිළධාරීන් එම සහනය ක්‍රියාත්මක කිරීමට අවසර නොදීම.
  • සේවකයින්ට අත්‍යාවශ්‍ය ආහාරපාන ලබා ගැනීම සදහා ආයතනික සේවක ආපන ශාලා විවෘත කිරීම.
  • සත්‍ය වශයෙන්ම පිළිගත හැකි දුෂ්කරථා තුල සේවය වාර්තා කිරීමට අපහසු සේවකයින් නිවාඩු හා වෙනත් කටයුතුවලදී ඔවුනට හානියක් නොවන පරිදි කටයුතු කරන ලෙස දන්වමු.
  • එමෙන්ම සේවයට වාර්තා කරන සේවකයින්ට කාර්යාල කටයුතු ඉටු කිරීමේදී බාධාකාරී ලෙස විවිධ තහංචි පනවමින් කටයුතු නොකර තැපැල් සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම්කර ඇති තත්ත්වයයක් තුල සියළු තැපැල් කටයුතු අප්‍රමාදව ඉටු කිරීම සදහා කාර්යාලවල පවතින පුරප්පාඩු ප්‍රමාණයන් මෙන්ම පැමිණිමට අපහසු නිළධාරීන්ගේ තත්ත්වයන් සැලකිල්ලට ගෙන ආවරණ අතිකාල මෙන්ම රාත්‍රි සේවාවාර කාර්යාලයේ පවතින කාර්යය බහුල තත්ත්වයන් සැලකිල්ලට ගෙන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ඉල්ලමු.
  • මෙම සියළු කරුණු පිළිබද වැඩිදුර සාකච්ඡා කිරීම සදහා 09.12 දින හෝ ආසන්න දිනයකදී අප සංවිධානයේ සියළු වෘත්තීය සමිති සදහා සාකච්ඡාවක් හැකි නම් මූලස්ථාන ශ්‍රවනාගාරයේ දී අවම පිරිසකගේ සහභාගිත්වයෙන් හෝ එසේ නොමැතිනම් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ හෝ ලබාදීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලමි. මේ සම්බන්ධයෙත් අප සංවිධානය වෙත පිළිගත හැකි විසදුමක් නොලැබෙන්නේ නම් මින් ඔබ්බමට කටයුතු කිරීමට සිදුවන බවද කණගාටුවෙන් වුවද දන්වා සිටිමු.

මෙම ලිපිය සඳහා පහත සඳහන් වෘත්තීය සමිති එකතුවෙන් තැපැල්පතිවරයා වෙත යොමුකර ඇත.
තැපැල් සහ විදුලි සංදේශ නිළධාරීන් සංගමය, ශ්‍රි ලංකා තැපැල් සහ විදුලි සංදේශ සේවා සංගමය, ජාතික තැපැල් සහ විදුලිසංදේශ සේවක සංගමය, එක්සත් ජාතික තැපැල් සේවක සංගමය, ශ්‍රි ලංකා නිදහස් තැපැල් වෘත්තීය වේදීන්ගේ සංගමය, ලංකා තැපැල් සේවා සංගමය, තැපැල් දෙපාර්මේන්තුවේ නිළධාරී සංගමය