රාජ්‍ය සේවයට අලුතින් බඳවාගත් උපාධිධාරීන්ගේ පුහුණු කාලය ගැන රජයෙන් තීරණයක්

රාජ්‍ය සේවයට අලුතින් බඳවාගත් උපාධිධාරීන්ගේ පුහුණු කාලය ගැන  රජයෙන් තීරණයක්

රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් හැටදහසකගේ පුහුණු කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීම සඳහා වූ යෝජනාවක් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ඇමැති මණ්ඩලයට අද (13) ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

මෙම උපාධිධාරීන්ගේ පුහුණු කාලය වූ වසරක කාලය සැප්තැම්බර් මාසයෙන් අවසන් වෙයි. එම උපාධිධාරීන්ගේ ඉදිරි කටයුතු ද සැලසුම් කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සිව් පුද්ගල කමිටුවක් පත් කරන ලදී.

එම කමිටුවේ නිර්දේශවලට අනුව පළාත් සභා, අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ඇතුළු ආයතනවල පුරප්පාඩු සඳහා මෙම උපාධිධාරීන් අනුයුක්ත කිරීමට තීරණය කර ඇත. එහෙත් ගතවන කාලය හා ස්ථිර කර වැටුප් ගෙවීමට ප්‍රතිපාදන වෙන් කිරීමේ දී ඇතිවන ගැටලු සැලකිල්ලට ගෙන පුහුණු කාලය මාස 06කින් දිරීඝ කිරීමට යෝජනා කර ඇත.

2020 වර්ෂයේ ඇමැති මණ්ඩල තීරණයකට අනුව බඳවා ගත් මෙම උපාධිධාරීහු දිස්ත්‍රික් ලේකම්වරුන් යටතේ අදාළ දිස්ත්‍රික්කවල රාජ්‍ය ආයතනවල සේවය කරති. දැනට ඔවුන්ට රුපියල් විසිදහක (20000) පුහුණු දීමනාවක්ද ලබා දෙයි. මෙම උපාධිධාරීන් සංවර්ධන නිලධාරී සේවයට අනුයුක්ත කිරීමට සැලසුම් කළද පුරප්පාඩු සීමිත වීම ගැටලුවක් වී ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

උපාධිධාරීන්ගෙන් බහුතරය කලා විෂය ධාරාවේ උපාධිධාරීන්ය. එම උපාධිධාරීන් බහුතරය සිටින කුරුණෑගල, ගාල්ල, මාතර, කෑගල්ල, හම්බන්තොට, රත්නපුර, මඩකලපුව, අම්පාර හා යාපනය දිස්ත්‍රික්කවල සංවර්ධන නිලධාරී සේවාවේ පුරප්පාඩු නොමැත.

මෙම උපාධිධාරීන්ගෙන් 18000ක් අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරති. කෘෂිකර්ම අමාත්‍යාංශයට කෘෂිකර්ම උපාධිධාරීන් 674ක් යොමු කර ඇත. අනෙකුත් පිරිස වෙනත් රාජ්‍ය ආයතනවල සේවය කරන අතර ඔවුහු කොවිඩ් රාජකාරිවල නිරත වෙති.