ශිෂ්‍ය හා වෘත්තීය සමිති වෙත එල්ලවී ඇති මර්ධනයට අගමැතිගෙන් සාකච්ඡාව් ඉල්ලයි

protest

ශිෂ්‍ය හා වෘත්තීය සමිති නායකයින් වෙත එල්ල කර ඇති අසාධාරණ මර්දනය පිළිබඳව ශිෂ්‍ය හා වෘත්තීය සමිති නායකයින් අත්අඩංගුවට ගැනීමට ලූහු බැඳීම් ක‍්‍රියාදාමය නවතා දමන ලෙසත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අගමැතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථනය ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, අගෝස්තු 03 වැනි දින කොතලාවල පනතට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරය, වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන එක්ව දියත් කළ උද්ඝෝෂණය පදනම් කර මේ වන විට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහෝදරයා ඇතුළු ශිෂ්‍ය හා සමාජ ක‍්‍රියාකාරින් 05 දෙනෙකු රක්‍ෂිත බන්ධනාගාරගත කොට ඇත. තවත් වෘත්තීය සමිති නායකයින්, ශිෂ්‍ය හා සිවිල් ක‍්‍රියාකාරීන් සොයා රහස් පොලිසිය ලූහුබැඳීම් සිදුකරමින් සිටී. බන්ධනාගාරගත කළ පිරිසට ඇප ලබා නොදෙමින් සිටින අතර ශිෂ්‍යයින්ගේ විභාග කටයුතු හා සමහර රැුඳවියන්ගේ අසනීප තත්ත්වයන් පවා පෙන්වා දෙමින් සාධාරණ ඇප ඉල්ලීම් ඉදිරිපත් කළද ඒ සියල්ල නොසලකා හැර ඇත.

තවද මේවන විට එලෙස බන්ධනාගාරගත කර සිටින සොයුරු, සොයුරියන් කිහිප දෙනෙක් කොවිඞ් ආසාදිතව රෝගාතුරව සිටින අතර ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් පවා නිසි ලෙස ලබානොදෙමින් හිංසනයට ලක්කර ඇත.

කොතලාවල පනත තුළින් නිදහස් අධ්‍යාපනයට ඇතිවිය හැකි ව්‍යසනයට එරෙහිව සංවිධානය කළ මෙම සාමකාමී උද්ඝෝෂණයේ දී කිසිදු ගැටුමක් ඇතිකර ගැනීමට අවශ්‍යතාවයක් නොතිබු අතර එය පදනම් කරගෙන මෙවන් මර්දනකාරී පියවරයන් වල නිරතවීම පිළිබඳව රටේ පිළිගත් වෘත්තීය සමිති ලෙස අපගේ අප‍්‍රසාදය පළකර සිටිමු. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු ඇතුළු බන්ධනාගාරගත කර සිටින පිරිසට ඇප ලබාගැනීම සඳහා ඉතා සාධාරණ කරුණු දක්වා තිබිය දී එසේ ලබා නොදෙමින් වතු සේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ, විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ කොතලාවල පනතට එරෙහි ක‍්‍රියාකාරී කමිටුවේ සාමාජික ආචාර්ය මහිම් මෙන්ඩිස් ඇතුළු වෘත්තීය සමිති නායකයින් වෙත අත්අඩංගුවට ගැනීමේ තර්ජන එල්ල කරමින් ගෙන යන මෙම ක‍්‍රියාදාමය රටේ නීතිය, සාමය හා සාධාරණත්වය ස්ථාපිත කිරීමට ප‍්‍රතිඥා දී බලයට පැමිණි ඔබතුමා ඇතුළු වත්මන් ආණ්ඩුවේ ප‍්‍රතිරූපයට වන බලවත් හානියක් බව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති රැුසක් නියෝජනය කරන ස්වාධීන සංවිධානයක් වන පොදු දේපළ හා මානව හිමිකම් සුරැුකීමේ මධ්‍යස්ථානය ලෙස අප පෙන්වා දෙමු. එබැවින් අදහස් දැක්වීම, විරෝධය දැක්වීම, ඒ වෙනුවෙන් ක‍්‍රියාකාරකම් සංවිධානය කිරීම පිළිබඳව දේශීයව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් මෙන්ම ජාත්‍යන්තරව ද ආණ්ඩුව බැඳී ඇති සම්මුතීන් වලට ද පටහැනිව මෙලෙස කටයුතු කිරීම නිවැරදි කිරීම සඳහා කඩිනමින් මැදිහත්වන මෙන් අප ඔබතුමා වෙතින් ඉල්ලා සිටිමු.

මෙම තත්ත්වය දිගින් දිගටම නිවැරදි නොවන්නේනම් අප නියෝජනය කරනු ලබන වෘත්තීය සමිතිවල සාමාජිකත්වය ඇතුළු සමස්ත ජනතාව වෙත මෙම අවනඩුව ඉදිරිපත් කරමින් ඉදිරි ක‍්‍රියාමාර්ග වෙත පිවිසීමට සිදුවන බවද ඔබතුමා වෙත අවධාරණය කරමු.

ඒ අනුව ඉහත සියලූ තත්ත්වයන් සලකා බලා,

  1. නගා ඇති පදනම් විරහිත චෝදනා ඉවත්කර සියලූ රැඳවියන් නිදහස් කරන ලෙසත්,
  2. ශිෂ්‍ය හා වෘත්තීය සමිති නායකයින් අත්අඩංගුවට ගැනීමට ලූහු බැඳීම් ක‍්‍රියාදාමය නවතා දමන ලෙසත්,

ඉතා  ඕනෑකමින් ඉල්ලා සිටිමු. මේ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කිරීම සඳහා සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදේ නම් එය ද අගය කොට සලකන බව කාරුණිකව දන්වමු.

මෙම ලිපිය පහත සඳහන් වෘත්තීය සමිති විසින් අගමැතිවරයා වෙත යොමුකර ඇත.

ලංකා බැංකු සේවක සංගමය, ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය, ලංකා වතු සේවා සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, එක්සත් කම්කරු සම්මේලනය, තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය, ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය, එක්සත් පොදු සේවා සංගමය, වාණිජ හා කාර්මික සේවක සංගමය, රක්‍ෂණ සේවක සංගමය, තොරතුරු හා විදුලි සංදේශ සියලූ සේවක සංගමය, ලංකා ගුරු සංගමය, දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව, ටෙලිකොම් ඉංජිනේරුමය ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය, ආහාර, බීම සහ දුම්කොළ කර්මාන්ත සේවක සමිතිය, ස්වාධීන තටාක සේවක සංගමය, ජාතික නිදහස් වෘත්තීය සමිතිය, රජයේ මුද‍්‍රණ ශිල්පීන්ගේ සංගමය, ලංකා වැවිලි සේවා සංගමය, ඉඩම් හා කෘෂිකාර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය, PEOTECT සංගමය