සෞඛ්‍ය සේවකයින්ගෙන් හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයක්

සෞඛ්‍ය සේවකයින්ගෙන් හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයක්
ආණ්ඩුව හා සෞඛ්‍ය අමාත්‍යංශය  මේ මොහොතේ සෞඛ්‍ය සේවකයින්ගේ සාධාරණ ඉල්ලීම් කෙරෙහි සැලකිල්ලක් නොදැක්වීම හේතුවෙන් හෙට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසයි.
 
සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ හෙට (27 වන සඳුදා)  උදේ 7 සිට 12 දක්වා පැය 5ක් සේවයෙන් ඉවත්වීමේ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන බවයි.
 
එමෙන්ම දහවල් 12 සිට රට පුරා සියලු රෝහල් හා සෞඛ්‍ය ආයතනවල උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.
 
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා හෙද සේවාව, පරිපූර්ක සේවාව, අතුරු වෛද්‍ය සේවාව, ලිපිකාර සේවාව , රියදුරු හා  කණිෂ්ඨ කාර්යමණ්ඩලය ඇතුළු ලක්ෂයකට අධික සෞඛ්‍ය සේවකයින් සහභාගි වීමට නියමිත බව හෙතෙම අවධාරණය කළේය.
 
මූලික වශයෙන් ඉකුත් 22 වන දින රට පුරා  රෝහල්වල උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළ බවත්, ඊට ප්‍රමුඛතම හේතුව වූයේ සෞඛ්‍ය සේවකයින්ට මෙතෙක් ලබාදුන්  රු.7500ක කෝව්ඩ් සහන දීමනාව ආණ්ඩුව විසින් කපාදැමීම බව ඔහු සිහිපත් කළේය.
 
  කෝවිඩ් වසංගත තත්ත්වය තවමත් දරුණු මට්ටමක තාම ක්‍රියාත්මක වෙද්දී, සෞඛ්‍ය සේවකයින් මිය යද්දී, දැඩි අනාරක්ෂිත වන තත්ත්වයක පවා සේවය කරද්දී  මෙම දීමනාව අගෝස්තු 30  න් පසුව නැවැත්වීමට බලධාරීන් විසින් තීරණය කර ඇති බව රත්නප්‍රිය මහතා පෙන්වාදුන්නේය.
 
සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ 12 දෙනෙකු මේවන විට කොවිඩ් නිසා ජීවිතක්ෂයට පත්ව ඇති බවද ඔහු සිහිපත් කළේය.
 
මෙවැනි තත්ත්වයක් හමුවේ සෞඛ්‍ය කාර්යමණ්ඩලයට හිමි දීමනාව යළි ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් සෞඛ්‍ය සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.