ශක්තික කුමාරට ප්‍රාදේශීය දේශපාලඥයකු අපහාසාක්මකව තර්ජනය කර බැන වැදිලා

ශක්තික කුමාරට ප්‍රාදේශීය දේශපාලඥයකු අපහාසාක්මකව තර්ජනය කර බැන වැදිලා

ආර්ථික සංවර්ධන නිලධාරී ශක්තික සත්කුමාර මහතාට රාජකාරියේ යෙදී සිටිය දී කුරණෑගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ උප සභාපති හිටපු පළාත් සභා මන්ත්‍රී පියුමාල් හේරත් මහතා විසින් නිලධාරීන් සහ සිවිල් පුරවැසියන් ඉදිරියේ ඉතා පහත් ලෙස අපහාසාත්මකව, තර්ජනාත්මකව බැන වැදීම සම්බන්ධයෙන් සංවර්ධන නිලධාරි සේවා සංගමය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටින්නේ රාජ්‍ය නිලධාරින් දේශපාලන බලපෑම් වලින් තොරව තම රාජකාරි කරගෙන යාමට ඉඩ සලසා දෙන ලෙසයි.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, 2021.09.25 දින කුරුණෑගල මාස්පොත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගෝනගම බහුකාර්ය ගොඩනැගිලි පරිශ්‍රයේ දී මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු අංක 778, විල්ගම්දෙමටව ග්‍රාම නිලධාරී වසමේ වසම්භාර ආර්ථික සංවර්ධන නිලධාරී ශක්තික සත්කුමාර මහතාට කුරණෑගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ උප සභාපති හිටපු පළාත් සභා මන්ත්‍රී පියුමාල් හේරත් මහතා විසින් නිලධාරීන් සහ සිවිල් පුරවැසියන් ඉදිරියේ ඉතා පහත් ලෙස අපහාසාත්මකව, තර්ජනාත්මකව බැන වැදීම සම්බන්ධයෙනි.

ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා සභාපතිත්වය දරණ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය විසින් ක්‍රියාත්මක 2022 වසර සඳහා අයවැය සංවර්ධන යෝජනා ලබා ගැනීමේ ‘‘ගම සමඟ පිළිසඳරක්’’ වැඩ සටහන යටතේ මේ දිනවල ග්‍රාමීය කමිටු කැඳවීමේ ක්‍රියාවලියක් සිදුවේ. එම වැඩසටහනේ එක් පියවරක් ලෙස පසුගිය දා 778 විල්ගම්දෙමටව ග්‍රාම නිලධාරී වසමට අදාළව ග්‍රාමීය කමිටුව හිටපු පළාත් සභා මන්ග්‍රී, කුරුණෑගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ උප සභාපති පියුමාල් හේරත් මහතාගේ මූලිකත්වයෙන් කැඳවන ලදි. එම රැස්වීමේ දී පක්ෂයේ ශාඛා සමිති නියෝජිතයන්ට ආරාධනා නොකිරීම පිළිබඳ උරණ වූ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ උප සභාපති පියුමාල් හේරත් මහතා සංවර්ධන නිලධාරී ශක්තික සත්තුමාර මහතාට ඉතා නින්දා සහගත ලෙස තර්ජනාත්මකව බැණ වැදී ඇත. මෙම ක්‍රියාව දැඩි ලෙස හෙලා දකින අතර රාජ්‍ය නිලධාරීන්ට මෙවැනි බලපෑම් කිරීම වහාම නතර කරන ලෙස අපි ආණ්ඩුවට අවධාරණය කරමු.

ආර්ථික සංවර්ධන නිලධාරීන් පොදු රාජ්‍ය නිලධාරීන් වන අතර දේශපාලන පක්ෂයක ප්‍රාදේශීය සංවිධායකයින් නොවන බව ආණ්ඩුවේ දේශපාලන බලධාරීන්ට අපි අවධාරණය කරමු. රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමේ මෙම පහත් ක්‍රියාව අපි දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමු. රජයේ සේවකයින් ලෙස රාජකාරී කිරීමේ දී රාජ්‍ය ප්‍රතිපත්ති හා අණපනත්වලට අනුකූලව පොදු භූමිකාවක් ඉටු කරන සංවර්ධන නිලධාරීන් දේශපාලන පක්ෂයක අතකොලූ නොවන බව පියුමාල් හේරත් මහතා ඇතුළු ආණ්ඩුවේ සියලූ දේශපාලන බලවතුන්ට අපි අවධාරණය කරමු.

ග්‍රාමීය කමිටු කැඳවීමේ දී ග්‍රාම නිලධාරී වසම තුළ සංවර්ධන විෂය භාර ආර්ථික සංවර්ධන නිලධාරීවරයා හෝ වරිය එහි කැඳවුම්කරු ලෙස ක්‍රියා කරයි. එහි දී ග්‍රාම නිලධාරී වසම තුළ සිටින ආගමික නායකයින්, මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ ස්වෙච්ඡා සමිති නායක/නායිකාවන් ග්‍රාමීය කමිටුවේ සාමාජිකයින් වේ. එම පිරිස කැඳවා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති හෝ උප සභාපති හෝ නියෝජිතයකුගේ ප්‍රධානත්වයෙන් රැුස්වීම පවත්වා ගමට අදාළ යෝජනා ප‍්‍රමුඛතා අනුපිළිවෙලට සකස් කළ යුතුවේ. එය රජයේ සංවර්ධන ක්‍රියාවලියට යෝජනා ලබාගැනීමේ ප්‍රශස්ත ක්‍රමවේදයක් ලෙස අපි පිළිගනිමු.

එහෙත් බොහෝ ස්ථානවල සිදුවෙමින් පවතින්නේ වෙනත් ක්‍රියාදාමයකි. ග්‍රාමීය කමිටුව නමින් බාහිර දේශපාලන හිතවතුන් බහුතරයක් කැඳවා ඒකපාර්ශවීය ලෙස යෝජනා ලබා ගනිමින් දේශපාලන බලධාරීන්ට රිසි ලෙස යෝජනා අනුමත කර ගනිමින් ග්‍රාමීය කමිටුව අවභාවිත කිරීමත්, පොදු මහජන මුදල් භාවිතයේ දී ප්‍රමුඛතාවය මත විනිවිදභාවයකින් යුක්තව ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා ක්‍රියාකිරීම වෙනුවට මෙම වැඩ සටහන ආණ්ඩුවේ බොහෝ දේශපාලන බලධාරීන් දැඩි දේශපාලනීකරණයකට ලක් කොට තිබේ. ඔවුන්ගේ අත්තනෝමතික ක්‍රියාවලියට අනියමෙන් සහයෝගය නොදක්වන අවංක නිලධාරීන්ට මෙසේ දේශපාලන බලපෑම් එල්ල කිරීම සිදු වේ.

මෙම වැඩ සටහන ආරම්භක අවස්ථාවේ සිටම ආර්ථික සංවර්ධන නිලධාරීන් බැහැර කොට අවතක්සේරු කොට දැඩි දේශපාලනීකරණයකට ලක් කර තිබෙන බව අප විසින් මීට පෙර ද අවධාරණය කළෙමු.

මෙම අවිදිමත් දේශපාලන බලපෑම් දිගින් දිගටම සිදු වන්නේ නම් එයට එරෙහිව සමස්ථ සංවර්ධන නිලධාරීන් මෙන්ම අනිකුත් රාජ්‍ය නිලධාරීන් ද පෙරටු කරගත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට සිදුවන බව අපි දැඩිව අවධාරණය කරමු. එබැවින් තම දේශපාලන බලධාරීන් දැනුවත් කරන මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින අතර රාජ්‍ය නිලධාරීන්ට දේශපාලන බලපෑමකින් තොරව ස්වාධීනව රාජකාරී කිරීමට සුදුසු පරිසරයක් ඇති කරන මෙන් ද කාරුණිකව ඉල්ලා සිටිමු.