ආණ්ඩුව ගුරු සිත රිදවා සියලු සමිති සටනට ගෙන්නා ගනී

ආණ්ඩුව ගුරු සිත රිදවා සියලු සමිති සටනට ගෙන්නා ගනී

දින හැත්තෑ පහ ඉක්මවන ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරගැනීමේ අරගලය කෙරෙහි රාජපක්ෂ ආණ්ඩුවේ මුනිවත රැකීම ඉදිරියේ සමස්ත වෘත්තීය සංගම් ඒකරාශීව සටන ඉදිරියට ගෙන යාමට තීරණය කර තිබේ.

”රජය අපේ අරගලය මැඩපැවැත්වීමේ ආණ්ඩුවේ නවතම පියවර තමයි ඊළඟ අය වැය ගැන විශ්වාසය තබා ගුරුවරුන්ට විදුහල්පතිලට පාසල් එන ලෙස ඒත්තු ගැන්වීම. නමුත් ඒ කතාවලට අපි රැවටෙන්නේ නෑ. අද 78 වන දින අපි කියන්නේ ගුරුවරුන් 247000 ක් සහ විදුහල්පතිවරුන් 16000 ක් නොසලකා හැරීමට රජය සූදානම් වන්නේ නම්, අපි අපේ අරගලය තවදුරටත් පුළුල් කරනවා. විශ්ව විද්‍යාල සංගම් සම්මේලනය සමඟ එක්ව අපි හෙට සිට ගුරු විදුහල්පතිවරුන්ට සාධාරණය ඉටු වන තුරු තීරණාත්මක පියවර ගණනාවක් ගන්නවා. හෙට දිවයිනේ සියලුම වෘත්තීය සමිති අප සමඟ පුළුල් සාකච්ඡාවක් සඳහා කැඳවා තිබේනවා” යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මාධ්‍ය හමුවේ පැවසීය.

විශ්ව විද්‍යාල සමිති සම්මේලන හා ගුරු සංගම් සමඟ පැවති සාකච්ජාවෙන් අනතුරුව සරසවි ආචාර්යවරුන් ද ගුරු අරගලයට තම සහාය පල කර තිබේ.

ආණ්ඩුව නිවේදනය කර ඇත්තේ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළ පසු සිසුන් 200 ට අඩු පාසල්වල අනුමත ශ්‍රේණි සඳහා පන්ති ආරම්භ කිරීමට සූදානම් බවය.

''මෙතැන් පටන් අපේ අරගලය නවතාවයකින් යුතුව ඉදිරියට ගෙනයාමට කටයුතු කරනවා. මොකද අපේ සටන ජයග්‍රහණයකින් පමණයි නිමා කල යුත්තේ. වෙනත් විකල්ප නැහැ. අපි අපේක්ෂා කරන ජයග්‍රහණය ලබාගන්නා තෙක් අරගලය ඉදිරියට ගෙනයනවා''`යැයි එක්සත් ලන්කා ගුරු සංගමයේ සභාපති පූජ්‍ය ගල්වෙල පඥ්ඥාසාර හිමිනම පැවසුහ.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනය කරන්නේ ගුරු - විදුහල්පති අනුමත වැටුප් ලබාගැනීම වෙනුවෙන් දියත්කරන අරගලය සාධාරණ බවත් එම වැටුප් දීමනා ලබාදෙන ලෙස ආණ්ඩුවට ඒත්තු ගැන්වීමට සමස්ත කතෝලික ජනතාව සමග කතෝලික රදගුරු සම්මේලනය ගුරු -විදුහල්පතිවරුන් සමග ආත්මීකව, යැදුමෙන් සහ ක්‍රියාවෙන් එක්වන බවය.

Agalakada Srisumana 2020.07.07

මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි

''සෞභාග්‍යයේ දැක්ම රැගෙන පැමිණි කණ්ඩායම තුල අධ්‍යාපනයට දක්වා තිබෙන්නේ ඉතාම පැහැදිලි නොසැලකිල්ලක්. ඒකට හොඳම නිදර්ශනය තමා අධ්‍යාපනයට නිර්මාණශීලී මිනිහෙක් ඇමතිවරයා හැටියට පත්කරන්න මේ අයට බැරිවෙලා තිබෙනව. දුර්වලම දුර්වල මිනිස්සු දෙන්නෙක් තමයි මේ කාලය තුල අධ්‍යාපනය ඇමතිවරුන් බවට පත්කරලා තියෙන්නේ. මේ ප්‍රශ්නය බේරලා දෙන්න මේ දෙන්නට මේක තේරෙන්නේ නැහැ. මේ රටේ ජනතාව වෙනුවෙන්, මහා සංඝරත්නය වෙනුවෙන් ආයාචනය කරනවා, මේ ප්‍රශ්නය තවදුරටත් උඩුදුවලා දරුවන්ගේ අනාගතයත් , රටේ අනාගතයත් කාලකන්නි කරන්න දෙන්න එපා කියලා. මේ ගුරුවරු අසරණ භාවයට පත්වෙලා ඉන්නේ, මේ හැමෝම දරුවන්ට ආදාරෙයි. රටට ආදරෙයි. ගුරුවරු තමන්ගේ මෙහෙවර බොහොම කැපවීමෙන් ඉටුකරන පිරිසක්. ඒ නිසා ඔවුන්ගේ මේ මෙහෙවරට වටිනාකමක් දෙන්න`` යැයි සරසවි ඇදුරකු වන මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ පෙන්වා දුන්නහ.

(ද ලීඩර්)