පාසල් විවෘත කිරීමේ ගැටළුවට සිවිල් ක්‍රියාකාරිකයෝ මූලික විසඳුම් යෝජනා ඉදිරිපත් කරයි

school-reopen

පාසල් නැවත ආරම්භ කිරීමේදී විෂය නිර්දේශ හා අදාල මූලික ගැටළුවට ඉහතින් ඉදිරිපත් කෙරුණු විසඳුම් ප්‍රමාණවත් වේ යැයි අප විශ්වාස කරන අතර, දැනට ගුරු සේවයේ මතුව ඇති ආරවුල් සඳහාද යම් සාධාරණ සම්මුතියකට එකඟත්වයකට වහා එළැඹිය යුතු යැයි කිව යුතු බවද, ළමුන්ට හා ගුරුවර ගුරුවරියන්ටද සහනදායි පසුබිමක් ලබා දෙනු ඇතැයිද, ඒ සමගම විෂය නිර්දේශ ඇතුළු ඉහත යෝජනා වෙත ඔබගේ අවධානය නොපමාව යොමු කරන මෙන් ඉල්ලා සිටිමින් අධ්‍යාපනඥයින්, වෘත්තීය සමිති නායකයින්, මාධ්‍යෙව්දීන් හා සිවිල් ක්‍රිියාකාරින් විසින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් වසා තිබුණු පාසල් තව දෙසතියකින් පමණ ආරම්භ කරන බවට තිබූ මාධ්‍ය වාර්තා නිවැරදි යැයි අපි සිතමු. මෙතරම් දිගු කලක් පාසල් කටයුතු අත්හිටුවා තිබීමේ බරපතලම අවාසිය ඇත්තේ ළමුන්ට ය. එබැවින් පාසල් කටයුතු නැවත ආරම්භ කිරීමට ඔබ අමාත්‍යාංශය තීන්දු කිරීම අපි අගය කරමු.

මේ වසරේ පළමු මාස කිහිපයේ පාසල් කාණ්ඩගතව පැවැත්වූ අතර ඉන් වැඩි අවාසියක් සිදුවූයේ බස්නාහිර පළාතටය. එහිදී “මාර්ග ගත ඉගැන්වීම්” කෙතරම් ඉහළින් සැළකුවද, පාසල් අධ්‍යාපනයෙහි එය අසාර්ථක ආදේශකයක් වූවකි. එය සියලු ළමුන්ට සමාන අවස්ථා හා සමාන පහසුකම් සමගින් සහතික කළ යුතු අධ්‍යාපන අයිතිය බහුතරයක් ළමුන්ට අහිමි කෙරුවකි. ඒ හේතුව නිසාවෙන් විධිමත් අධ්‍යාපනය සඳහා පාසල් සියල්ල එක ලෙස විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ඇතැයි අපි විශ්වාස කරමු.

පාසල් විවෘත කිරීමේදී කෝවිඩ්-19 වසංගතය පාලනය කර ගැනීමේ සෞඛ්‍යාරක්ෂක පියවර ස්ථාවරව පවත්වා ගැනීම අතිශය වැදගත් වන හෙයින් ඒ සඳහා පැහැදිලි උපදෙස් නිල වශයෙන් පාසල් ප්‍රධානීන්ට ලබා දිය යුතුව ඇත. එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහත්ම මහත්මීන්ගේ වගකීම යටතේ ලබාදීමට හා ඔවුන් යටතේ පාසල් නියාමනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් මෙයින් ඉල්ලමු.

මෙම ලිපිය ඔබ වෙත යොමු කිරීමේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ පාසල් කටයුතු යළි ආරම්භ කිරීමේ වඩාත්ම ගැටළු සහගත කාරණාව වන විෂය නිර්දේශ ආවරණය සඳහා විසඳුම් යෝජනා කිරීමය. පාසල් නැවත ආරම්භ කිරීමේ උපරිම වාසිය තිබිය යුත්තේ පාසල් ළමුන්ට යැයි ඔබද පිළිගන්නා බව අපි දනිමු.

මේ වනවිට, බොහෝ පාසල්වල පසුගිය වසරේ අත හැරුණු විෂය නිර්දේශවල හිඟ ඇති බැව් අපි දනිමු. විශේෂයෙන් ප්‍රාථමික පංතිවල නිසියාකාරව ඉගැන්වීම් නොවුනු කල, ඒ ළමුන්ට සයවන වසරේ සිට ඉහළට කිසිවක් හරියාකාරව ඉගෙන ගැනීමට නොහැකි බැව් කවුරුත් දන්නා කාරණාවකි. පාසල් අධ්‍යාපනයේ එවැනි ගැටළුද එකතු වූ පසු, ඉදිරි දෙමසක පමණ කාලයේ වසරක පාඩම් ඉගැන්විය නොහැකි බැව් සාමාන්‍ය දැනුමකි. ඒ පාඩම් ඉගැන්වීම සම්පූර්ණ නොකර, ලබන 2022 වසරේ විෂය නිර්දේශ ඉගැන්වීම් ආරම්භ කරන්නටද නොහැක.

අතීත අත්දැකීම් අනුව අධ්‍යාපන බලධාරීන් එයට විසඳුම් ලෙස බොහෝ විට ඉදිරිපත් කරනු ඇත්තේ සවස් වරුවේ අමතර පංති පැවැත්වීම හා පාසල් කිහිපයක ළමුන් එකතුකර සම්මන්ත්‍රණ සැසි පැවැත්වීම ය. එය ජාතික වශයෙන් විසඳිය යුතු බරපතල ගැටළුවකට ප්‍රාදේශීය වශයෙන් ලබා දෙන ප්‍රමිතියකින් තොර උත්තරයකි. එවගේම ළමුන්ගේ පැත්තෙන් මෙන්ම ගුරුවරුන්ගේ පැත්තෙන් ගත්තද එය ඉතා අකාරුණික විසඳුමකි. අධ්‍යාපනයේ මේ බිඳ වැටීම ඉල්ලා සිටින්නේ ජාතික වශයෙන් වන පොදු විසඳුමකි.

එබැවින් ගුරුවරුන් ඇතුළු සැමට සාධාරණයක් වන්නටත් ළමුන්ගේ අධ්‍යාපනයට වාසියක් වන්නටත් ඉතා සැකෙවින් අපි පහත සඳහන් යෝජනා ඔබ වෙත ඉදිරිපත් කරමු.

  1. සෑම ශ්‍රේණියක් (වසරක්) සඳහාවන මේ වසරේ (2021) සහ ලබන 2022 වසරේ විෂය නිර්දේශ දෙක එකතු කර ලබන නොවැම්බරයේ සිට ඉදිරි මාස 14 සඳහා තනි විෂය නිර්දේශ ලෙස සංශෝධනය කර සියලු ශ්‍රේණි සඳහා ඉදිරිපත් කිරීම
  2. මාස 14 ක එම සංශෝධිත නව විෂය නිර්දේශ මෙම නොවැම්බර මස ආරම්භයේ සිට පාසල් සියල්ලෙහි ඉගැන්වීමට අවශ්‍ය පියවර ගැනීම
  3. ඒ සම්බන්ධයෙන් ගුරු සේවාවට අවශ්‍ය අත් පොත් ඇතුලු දැනුවත් කිරීම් කටයුතු සංවිධානය කිරීම වහා ආරම්භකර මෙම මාසය අවසන් වන්නට පෙර සියල්ල සම්පූර්ණ කිරීම

ඒ අනුව ලබන වසර සඳහා ළමුන් උසස් කළ යුතු ශ්‍රේණියට, පාසල් නැවත විවෘත කිරීම සමගින් ඔවුන් උසස් කළ යුතු වන්නේය. ඉන් අදහස් කෙරෙන්නේ වසර දෙකක විෂය නිර්දේශ මාස 14 ක තනි විෂය නිර්දේශ ලෙස සංශෝධනය කිරීමෙන් පසු මේ වසර සහ ලබන වසර එක් පාසල් වසරක් ලෙස සැළකිය හැකි බවය. එසේ කළ විට ළමයාට අහිමි වූ කාලයද නැවත ලබා දිය හැකි වන්නේය.

පසුගිය වසරේද හරියාකාරව නොකෙරුණු සහ මෙතෙක් මේ වසරේ අඩාලව ඇති පාසල් අධ්‍යාපනයෙන් ළමුන්ගේ අනාගතයට සිදුවන තක්සේරු නොකළ හැකි පාඩුව හමුවේ, එවැනි නිශ්චිත, සංවිධානාත්මක, ජාතික විසඳුමක් අවශ්‍ය බව ඔබ පිළිගනු ඇතැයි අපි දනිමු. එවගේම ඒ වෙනුවෙන් ගනු ලබන තීන්දු පිළිබඳව සමාජය, විශේෂයෙන් දෙමාපියන් දැනුවත් කළ යුතු බවත් කිව යුතුය.

පාසල් නැවත ආරම්භ කිරීමේදී විෂය නිර්දේශ හා අදාල මූලික ගැටළුවට ඉහතින් ඉදිරිපත් කෙරුණු විසඳුම් ප්‍රමාණවත් වේ යැයි අප විශ්වාස කරන අතර, දැනට ගුරු සේවයේ මතුව ඇති ආරවුල් සඳහාද යම් සාධාරණ සම්මුතියකට එකඟත්වයකට වහා එළැඹිය යුතු යැයි කිව යුතුය. එය ළමුන්ට හා ගුරුවර ගුරුවරියන්ටද සහනදායි පසුබිමක් ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරමු. ඒ සමගම විෂය නිර්දේශ ඇතුළු ඉහත යෝජනා වෙත ඔබගේ අවධානය නොපමාව යොමු කරන මෙන් මෙයින් අපි කාරුණිකව ඉල්ලමු.

එම ලිපිය අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යවා ඇත්තේ, පහත සඳහන් සිවිල් ක්‍රියාකාරින් විසිනි.

හුරීගම ජයසේන, සම්මානලාභී නාට්‍ය හා සිනමා අධ්‍යක්ෂ පරාක්‍රම නිරිඇල්ල, විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලියු. ඕ. විතාන, වෘත්තීය සමිති නායක ඇන්ටන් මාකස්, වෛද්‍ය අමිල මදුරාගොඩ, තරුණ සේවා සභාවෙහි ප්‍රධාන යෝග උපදේශිකා ශ්‍යාමලි පෙරේරා, සමාජ හා මානව හිමිකම් ක්‍රියාකාරිනී උපුලාංගනී මාලගමුව, නිදහස් චිත්‍රශිල්පී සහ වෘත්තීය මුද්‍රණශිල්පී ටී.පී.ජී. අමරජීව, “ලක්බිම” සිටිය කර්තෘ සහ නිදහස් මාධ්‍යවේදී සම්පත් දේශප්‍රිය, සමාජශීලි පුරවැසි අසංක සේනාධීර, කොළඹ විශ්ව විද්‍යාලයයේ කථිකාචාර්ය ක්‍රිශාන් ජයශංක සිරිවර්ධන, රාජ්‍ය නාට්‍ය සම්මානලාභි රංගණ ශිල්පී එස්. ලීලාවතී, රාජ්‍ය නාට්‍ය සම්මානලාභි නාට්‍යවේදී ආර්, ලෝගනාදන්, නීතිවේදී නිල්මිණි පෙරේරා, විද්‍යුත් මාධ්‍යවේදි චලනි සිරිවර්ධන, සමාජීය හා පුරවැසි උන්නති ක්‍රියාකාරී මොහමඩ් රස්ඩීන්, බැංකු කලමනාකාර අරුණ දිසානායක, නීතිවේදී හසිනි කුමාරසිංහ, නීතිවේදී අසංක කුමාරසිංහ, දේශපාලන විචාරක හා මාධ්‍යවේදී කුසල් පෙරේරා (නම යෙදීමට අනුමැතිය දී ඇත)