රැකියාවේ තෘප්තිමත් බව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලින් බලාපොරොත්තු විය නොහැක - සෞඛ්‍ය ඇමති

new-appointment

රැකියාවේ තෘප්තිමත් බව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලින් බලාපොරොත්තු විය නොහැකි යැයිද, සාකච්ඡා සම්මුති වලින් ඇතිවන එකඟතාවන් මත රැකියාවේ ගැටලු නිරාකරණය කරගනිමින් තෘප්තිමත් සේවාවක් ඉන් ලබා දිය හැකි යැයිද සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

තෘප්තිමත් සේවකයන් නිර්මාණය කිරීම තුළින් ආයතනයක් සාර්ථකව ඉදිරියට ගෙන යා හැකි බවද එවැනි ආයතනයන්හි සාර්ථකත්වය උදෙසා සේවක තෘප්තිමත්බාවය වෙනුවෙන් කටයුතු කිරීම පාලකයන්ගේ වගකීම බවද අමාත්‍යවරයා කීය.

සෞඛ්‍ය සේවාවේ ආදේශක සෞඛ්‍ය කාර්ය සහයකයින් 1390 දෙනෙකු ස්ථිර සේවයට පත්කිරීමේ උත්සව අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කීය. මෙම පිරිස සංකේතවත් කරමින් 15 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම (06) දින සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි. මේ වන විට මෙරට සෞඛ්‍ය සේවාවේ ලක්ෂ එක හමාරක පමණ සෞඛ්‍ය වෘත්තිකයන් ප්‍රමාණයක් සිටින අතර මින් 22000 ට ආසන්න පිරිසක් සෞඛ්‍ය කාර්ය සහයකයින් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා දිවයිනේ ප්‍රධාන රෝහල් රැසක සේවය කරන ආදේශක සෞඛ්‍ය කාර්ය සහයකයින් මේ අනුව අද සිට ස්ථිර සේවයට ඇතුළත් වේ. මේ සඳහා වන කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත මෙම පත්වීම් ලබා දීම සිදු විණි.

සෞඛ්‍ය ක්ෂේත්‍රය රැකියාවකට එහා ගිය උතුම් සේවාවක් යැයිද එය සියලු සේවාවන්ට වඩා ඉහළ තත්ත්වයක් බවත් එනිසා එහි ගෞරවනීයත්වය රැක ගැනීම සැමගේ වගකීමක් බවත් අමාත්‍යවරයා මෙහිදී කීය. රැකියාව තුළ පීඩන, අපහසුතා, ගැටලු, ප්‍රශ්න තිබිය හැකි යැයිද එහෙත් ඒ සියල්ලටම සරිලන ලෙස තමන් නිසි මානසිකත්වයෙන් රැකියාවේ වගකීම තෝරා බේරා ගැනීම සාර්ථකත්වයේ සංකේතය බවද රඹුක්වැල්ල මහතා පැවසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යන්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අතිරේක ලේකම් යූ. එල්. පීරිස්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල් සිරිමල් ලොකුගමගේ යන මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි විය.