කතානායකගේ අත්සන සමග ‘වැදගත් පනත් දෙකක්‘ බලාත්මක වෙයි

mahinda-yapa-abewardana

පසුගිය 07 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත වූ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පතට සහ සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා (13) දින  සිය සහතිකය සටහන් කළේය.

සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත මගින් ඉන්දියාවේ සේවය කරන ශ්‍රී ලාංකේය ශ්‍රමිකයින්ට වයස අවුරුදු 58 ඉක්මවීමට පෙර සමාජ ආරක්ෂණ අරමුදලට දායකත්වය දැක්වූ මුදල් ලබාගැනීමට හැකිවන පරිදි අවශ්‍ය සංශෝධන සිදුකර ඇත. මීට ප්‍රථම ඉන්දියාවෙහි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් එරට නීතිමය ප්‍රතිපාදන අනුව අනිවාර්යයෙන්ම ඉන්දියානු සමාජ ආරක්ෂණ අරමුදලට දායකත්වය දැක්විය යුතු අතර ඔවුන් එරට සේවය නිමවා ආපසු පැමිණීමේදී සමාජ ආරක්ෂණ අරමුදලට දක්වන ලද දායක මුදල් ලබා ගැනීමට නම් වයස අවුරුදු 58ක් සම්පූර්ණ වන තෙක් සිටිය යුතුව තිබිණි.

ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත මගින් වයස අවුරුදු 18 සම්පූර්ණ  වූ තැනැත්තන්ට කඩිනමින් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවීම සිදුවේ. මීට ප්‍රථම 1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත අනුව ඡන්ද හිමියන් ලියාපදිංචි කරනු ලබන්නේ එක් එක් වර්ෂයේ ජුනි මස පළමු දිනට වයස 18 සම්පූර්ණ කළ තැනැත්තන්ට බැවින් එම දිනට පසු උපන්දිනය ඇති තරුණ පිරිස් සඳහා ඡන්ද අයිතිය හිමිවන්නේ ඉදිරි වර්ෂයේ මැයි 31 දිනට පසු යෙදෙන මැතිවරණයේදීය. එම තත්ත්වය මගහරවා ගැනීම පිණිස මෙම පනත් කෙටුම්පත ඉදිරිපත්විය.

ඒනුව 2021 අංක 22 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත සහ 2021 අංක 23 දරන සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන)  පනත (13) දින සිට බලාත්මක වේ.