ගුරු විදුහල්පති අරගලය සඳහා තවත් වෘත්තීය සමිති රැසක සහය

ගුරු විදුහල්පති අරගලය සඳහා තවත් වෘත්තීය සමිති රැසක සහය
වසර 24ක් පුරා ඉල්ලීම් කරන වැටුප් විෂමතා ඉවත් කර ගැනීම වෙනුවෙන් ගුරු විදුහල්පති සංගම් විසින් ගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 3කට ආසන්න කාලයක් ගත වී ඇත. වසර ගණනාවක් තිස්සේ කිසිදු ආණ්ඩුවක් විසඳුම් ලබා නොදුන් මෙම ගුරු වැටුප් ගැටළුවට මෙම ආණ්ඩුවෙන්ද කිසිදු සාධාරණ විසඳුමක් ලැබී නොමති බව ගුරු සංගම් පවසයි.  මේ පිළිබඳව අනෙකුත් වෘත්තීය සමිති වල සහයෝගය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පසුගිය 14 වෙනි දින පොදුදේපල සහ මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානයේ දී සාකච්ඡාවක් පැවැත්විණි. ඒ සඳහා පොදු දේපල සංවිධානය නියෝජනය කරමින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශය නියොජනය කරමින් වෘත්තීය සමිති නායකයින් රැසක් සම්බන්ධ විය. එහිදී මේ වන විට ගුරු අරගලය පවතින තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං සහ එකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව බණ්ඩාර විසින් පැහැදිළි කරන ලදී.
 
වසර එක හාමාරක් තිස්සේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙලක් සකස් නොකළ ආණ්ඩුව රටේ දරුවන් 60%ක් ඔන්ලයින් අධ්‍යාපනයෙන් පිටමං කළ බව ඔවුන් පවසයි. එසේම වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ රටේ කිසිදු ගැටළුවකට සැලකියයුතු මැදිහත් වීමක් නොකළ අතර එම සියලු අසමත්භාවයන් මේ වන විට ගුරුවරුන් පිට පටවා ඇති බව ඔවුන් පවසයි.  එසේම සරත් වීරසේකර වැනි ඇමතිවරුන්ගේ මර්දනීය ප්‍රකාශයන් සහ ගුරු අරගලය කඩාකප්පල් කිරීම සඳහා ආණ්ඩුවේ න්‍යාය පත්‍ර අනුව ප්‍රකාශ නිකුත් කරන මුරුත්තෙට්ටුවේ ආනන්ද වැනි හාමුදුරුවරුන්ගේ ප්‍රකාශ දැඩි ලෙස හෙළා දකින බවත් ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.
 
ඉදිරියේ දී මෙම අරගලය පුළුල් කරමින් අනෙකුත් සියළු වෘත්තීය සමිතිද සහයෝගය සහිතව අරගලය ජග්‍රහණයකින් කෙලවර කර ගැනිම සඳහා ඉදිරියට ගෙන යන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන ලදී. අය වැයෙන් ඉතා සොච්චම් මුදලක් වැඩි කරන බවත් 2023 දී ඉතිරි කොටස වැඩිකරන බව පැවසුවත්  ඒ පිළිබඳව කිසි සේත්ම විශ්වාස කළ නොහැකි බව ඔවුන්ගේ අදහසයි. මක් නිසාද ඉතිහාසයේ මෙවැනිම වූ පොරොන්දු වලින් ගුරුවරුන් රැවටීම ලක් වුණුබව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.  එසේම ගුරුවරු විසින් මස් රාත්තලම ඉල්ලන බව ආණ්ඩුවේ ඇමතිවරු ප්‍රකාශ කළද එය ඉතා සාවද්‍ය ප්‍රකාශයක් වන අතර ගුරුවරුන් විසින් මේ වන විටත් අරගලයේ පියවරයන් කිහිපයක්ම පස්සට ගනිමින් ඉතා සාධාරණ වැටුප් වැඩි වීමක් දක්වා තම ඉල්ලීම් සීමා කර ඇති බව ප්‍රකාශ කළහ.
 

මෙම ගුරු අරගලය සංකේතාත්මකව සමස්ථ කම්කරු පංතියේම සහ වෘත්තිය සමිති ව්‍යාපාරයටම වැදගත් සටනක් බැවින් ඒ සඳහා පැමිණ සිටි සියළුම වෘත්තීය සමිති තම සහයොඉගය ලබා දෙන බවට එකඟ විය. එසේම රට පුරා ක්‍රියාත්මක කරන දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් සහ උද්ගෝෂණ මාලාවක් පැවැත්වීමටත්  ගුරු අරගලය සමග අඛණ්ඩව එකට හිට ගැනීමට පොදු දේපල සංවිධානය එකඟ විය.