රාජ්‍ය නිලධාරීන් පාසල් කටයුතු සඳහා යෙදවීම වර්ජනය කරන බව දන්වයි

රාජ්‍ය නිලධාරීන් පාසල් කටයුතු සඳහා යෙදවීම වර්ජනය කරන බව දන්වයි

පාසල් ආරම්භයත් සමඟ අභ්‍යාසලාභී පුහුණුව යටතේ පාසල්වලට අනුයුක්ත කර සිටි අභ්‍යාසලාභීන් පාසල් වෙත යොමු කිරීම ප්‍රතික්ෂේප නොකරන අතර වෙනත් රාජය නිලධාරීන් පාසලේ හා සිසුන්ගේ කටයුතු වෙනුවෙන් යෙදවීමට ගත් තීරණය ප්‍රතික්ෂේප කරන අතර එම කටයුතුවලින් වැළකී සිටින බව ද යළි අවධාරණය කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත සංවර්ධන නිලධාරී සේවා සංගමය ලිපියක් යවමින් දැනුම්දීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, Covid-19 වසංගතයේ 3 වන රැල්ලෙන් පසු රට යථා තත්වයට පත්වීමත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් 2021 ඔක් 21 දින 1 වන ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ළමුන් 200ට අඩු පාසල් විවෘත කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට අදාළව පාසල්වලට අනුයුක්ත කර සිටි අභ්‍යාසලාභීන්ට අමතර රජයට අයත් වෙනත් රාජ්‍ය නිලධාරීන් පාසල්වලට අනුයුක්ත කිරීම අනුමත නොකරන අතර එය වර්ජනය කිරීමට ද කටයුතු කරන බව දන්වා සිටිමු.

2021.10.14 දිනැති PS/GT/2020/(iii වෙළුම) අංක සහිත සියලූම දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ඔබ විසින් යොමු කර ඇති ලිපිය පදනම් කරගනිමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල යටතේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන්, ක්‍ෂේත්‍ර නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් ඇතුළු ගුරු විදුහල්පතිවරුන් නොවන රාජ්‍ය සේවකයින් යෙදවීමට කටයුතු කරමින් පවතින අතර රටේ දරුවන්ගේ අධ්‍යාපනයත් සමඟ සිදු කරන වත්මන් ආණ්ඩුවේ දේශපාලන සෙල්ලමට රාජ්‍ය සේවකයින් අදාළ නොවන අතර මෙවැනි උත්සහයන් අප දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

නමුත් දීර්ඝ කාලයකින් පසු පාසල් විවෘත කිරීම, පළමු විවෘත කිරීමේදීම කිසිඳු සෞඛ්‍යමය දැනුමක් නොමැති දරුවන් පාසල් වෙත කැඳවන නිසා එම පාසල්වලට අදාළ දෙමව්පියන්, අදාළ ප්‍රදේශයේ රාජ්‍ය ආයතන රාජ්‍ය සේවකයින් ඔක් 21 දිනට පෙර දිනයක යොදාගෙන පාසල හා එහි පරිසරය පිරිසිදු කිරීමක් වැනි කටයුත්තක් අපි ප්‍රතික්‍ෂේප නොකරන අතර දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එවැනි කැප කිරීමක් සිදු කිරීමට ද පසුබට නොවෙමු.

  1. අපේ රටේ මහාචාර්යවරයෙකුගේ වුවද දරුවකුට උගන්වනුයේ පාසලේ පුහුණු ගුරුවරුන් යටතේ වන අතර ඔක් 21 දින පාසල් වෙත එන්නතේ පළමු වසරට ඇතුළත් වූ දරුවන් පළමු වතාවට විය හැකිය. එවන් පසුබිමක පාසල් පද්ධතිය තුළ ආණ්ඩුව විසින් ඇති කිරීමට යන ව්‍යාකූල වාතාවරණය අනුමත කළ නොහැකි අතර කුඩා දරුවන්ගේ පාසල් ජීවිතයේ ආරම්භයට ද එය බලපෑම් කළ හැකිය.
  2. 2020/21 අභ්‍යාසලාභී පුහුණුව යටතේ පාසල් වෙත අනුයුක්ත කර ඇති අභ්‍යාසලාභීන් පාසල් ආරම්භයත් සමඟ පාසල්වලට අනුයුක්ත කිරීම අනුමත කරන අතර ඒ පිළිබඳව ගැටළුවක් නොමැත,
  3. නමුත් දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මැදිහත්වීම මත ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන්, ක්‍ෂේත්‍ර නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඔක්. 21 පාසල් ආරම්භ කළ පසු පාසල් පවත්වාගෙන යාම හා පාසලට දරුවන් හුරු කිරීම ඇතුළු ක්‍රියාකාරකම් වෙනුවෙන් යෙදවීම බැහැර කරන අතර එසේ යෙදවීම අධ්‍යාපනික, ශාස්ත්‍රීය හා අධ්‍යාපන හා ළමා මනෝවිද්‍යාත්මක කරුණු මත නොගැළපෙන බැවින් වර්ජනය කරන බවද දන්වා සිටිමු,
  4. ලංකාවේ සියලූම පාසල්වල පරිපාලන බලධාරීත්වය විදුහල්පතිවරුන් සතුවන අතර දරුවන්ගේ ඉගැන්වීම් ක්‍රියාවලිය හා පාසල්වෙත හුරු කරගැනීම ඇතුළු කාර්යයන් නෛතිකව පැවරෙනුයේ ගුරුවරුන් මත වන අතර ගුරු විදුහල්පතිවරුන් නොමැති පසුබිමක විදුහල්පතිවරුන්ගේ නිල හා ලිඛිත අවසරයකින් තොරව පාසල් වෙත ඇතුල් වී එහි කටයුතු වලට මැදිහත්වීමෙන් ඇතිවිය හැකි නීති විරෝධී තත්වයන් සම්බන්ධයෙන් වගකීම භාරගැනීම නොහැකිවීම මත පාසල්වලට ඇතුළ්වීම හා පාසල තුළ දරුවන් සම්බන්ධයෙන් පවරා ඇති කාර්යයන් වර්ජනය කරමු,
  5. කුඩා දරුවන්ට පාසල් ආරම්භ කිරීමට තරම් යහපත් සෞඛ්‍ය තත්වයක් රට තුල පවතින බව ආණ්ඩුව සහතික කර ඇති බැවින් තවදුරටත් ප්‍රමාද නොකර ගුරු විදුහල්පතිවරුන්ගේ වෘත්තීය ගැටළුවට කඩිනමින් විසඳුමක් ලබා දී 6 ශ්‍රේණිය සිට උසස්පෙළ දක්වා දරුවන්ට ද ඔක් 21 සිට පාසල් ආරම්භ කිරීමට පියවර ගත යුතු බවට ඔබතුමා ඇතු`ඵ ආණ්ඩුවෙන් අපි ඉල්ලා සිටිමු,
  6. ආණ්ඩුවට සම්බන්ධ ප‍්‍රාදේශීය සභා සභාපතිවරු, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ලේකම්වරුන්යැයි කියාගන්නා පිරිස් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල සංවර්ධන නිලධාරී, ක්ෂේත්‍ර නිලධාරීන් කැඳවා ඔක් 21 දින පාසල් වලට ගොස් පාසල් වල කටයුතු කරන ලෙස කරන බලපෑම් හෙලා දකින අතර එවැනි පුද්ගලයින් යොදාගෙන රාජ්‍ය සේවකයින්ට කරන අනිසි බලපෑම් ද වහාම නතර කළයුතු බවද අප සංගමය අවධාරණය කර සිටිමු.

පාසල් ආරම්භයත් සමඟ අභ්‍යාසලාභී පුහුණුව යටතේ පාසල්වලට අනුයුක්ත කර සිටි අභ්‍යාසලාභීන් පාසල් වෙත යොමු කිරීම ප්‍රතික්ෂේප නොකරන අතර වෙනත් රාජය නිලධාරීන් පාසලේ හා සිසුන්ගේ කටයුතු වෙනුවෙන් යෙදවීමට ගත් තීරණය ප්‍රතික්ෂේප කරන අතර එම කටයුතුවලින් වැළකී සිටින බව ද යළි අවධාරණය කරමු.