පෞද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම වැටුපක් සහ සමාජ ආරක්ෂණ ක්‍රමයක්

පෞද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම වැටුපක් සහ සමාජ ආරක්ෂණ ක්‍රමයක්

පෞද්ගලික අංශයේ සේවයේ යෙදී සිටින කම්කරුවන්ගේ විශ්‍රාම ගැන්වීම අවු. 60 දක්වා දීර්ඝ කර තිබෙන බවත් ඔවුන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් සහ අනපේක්ෂිත තත්ත්වයන් හමුවේ මුහුණ දීමට සමාජ ආරක්ෂණයක් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගෙන කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.

අභිනවයෙන් ආරම්භ කළ කුරුණෑගල  දිස්ත්‍රික් නියෝජ්‍ය කම්කරු කොමසාරිස් කාර්යාලය නිල වශයෙන් ජනතා අයිතියට පැවැරීමට සහභාගි වීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා එසේ සඳහන් කළේය. තවදුරටත් අදහස් දැක්වූ හෙතම මෙසේද කියා සිටියේය.

අපේ රටේ විදේශ ගතවෙන රැකියා ඒජන්සි වැඩිම සංඛ්‍යාවක් තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. ඒජන්සිවලින් විදේශ ගතවෙන ශ්‍රමිකයන් සූරාකෑම වැළැක්වීමේ නීතිය අපි ගේන්න ඕනෑ. විදෙස් ශ්‍රමිකයන්ගෙන් විශාල පැමිණිලි සංඛ්‍යාවක් ලැබිලා තිබෙනවා. ඒ වගේම විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් සකස්කරලා පාර්ලිමේන්තුවේ අනුමැතිය අරගෙන අවසානයි. රටේ මොනතරම් ගැටලු තිබුණත් ඒවා පාලනය කිරීමට නොහැකි වුණත් වැඩකරන කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් යටපත් කරන්ඩ අපිට පුළුවන් කමක් නෑ. ශිෂ්ට සමාජයක් වශයෙන් අන්තර් ජාතික කම්කරු සංවිධානය ලෝක බැංකුව යුරෝපා කොමිසම ඒ වගේ අන්තර්ජාතික සංවිධාන අපෙන් බලාපොරොත්තු වන්නේ කම්කරු ජනතාවගෙන් තළාපෙළා වැඩ ගන්න සංස්කෘතියක් නොවෙයි.

ඇමෙරිකාවේ විශ්‍රාම යෑමේ වයස් සීමාව අවු. 70යි. අපේ රටේ ප්‍රාඥයන්ට මේවා තේරෙන්නේ නෑ. තරුණ පරපුරට රැකියා නැතිවෙනලු. තරුණ පරපුරට පෞද්ගලික අංශයේ රැකියා ඕන තරම් තිබෙනවා. පෞද්ගලික අංශය වෙනුවෙන් අපි විශ්‍රාම වැටුප් ක්‍රමයක් හා සමාජ ආරක්ෂණ ක්‍රමයක් අනුමත කර තිබෙනවා.

“එදා කම්කරු දෙපාර්තමේන්තුව කේන්ද්‍ර ගතවෙලා තිබුණේ වතුකරේ ජනතාව වෙනුවෙන්. අද දේශීය ආර්ථිකය දියුණුවීමත් එක්කම දේශීය නිෂ්පාදනය වැඩිවීමත් සමඟ පිටරට යවන භාණ්ඩ නිම කිරීමේ කර්මාන්තශාලා ඇතිකිරීමෙන් මෙවැනි සේවා සැපයුම් වෙනුවෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ සේවය වැඩි වැඩියෙන් අවශ්‍යතාවක් පවතිනවා. කම්කරුවන්ගේ සේවා සුරක්ෂිතභාවය සේව්‍ය සේවක ගැටුම් අවම කිරීමත් ජාතික ආර්ථිකයට සම්පූර්ණ සහයෝගය ලබාදීම සඳහා රජයේ කම්කරු දෙපාර්තමේන්තුව තිබෙන්නේ.” 

“කම්කරු වන්දි කොමසාරිස්ගේ ඒ අධිකරණ බලය කම්කරු විනිශ්ච සභාවට දෙන්න කටයුතු කරනවා. නඩු 16,000ක් මහෙස්ත්‍රාත් අධිකරණවල ගොනුවෙලා තිබෙනවා. අර්ථසාධක අරමුදල් අයකර ගැනීම සඳහා ටී.බී. ඉලංගරත්න මැතිතුමා කම්කරු විනිශ්ච සභා මඟින් කම්කරුවන් වෙනුවෙන් ලබාදුන් ඒ සහනය නැවත ලබාදීමට අවශ්‍ය නීති සංශෝධන කරනවා.”

මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් පා.ම. හිටපු අමාත්‍ය ජයරත්න හේරත්, හිටපු අමාත්‍යවරයකු වූ එස්.බී නාවින්න සහ කම්කරු දෙපාර්තමේන්තුවේ ජේ‍යෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.