ගුරු සටනට පණ දෙන්න තවත් වෘත්තීය සංගම් පෙරට

ගුරු සටනට පණ දෙන්න තවත් වෘත්තීය සංගම් පෙරට
ගුරු - විදුහල්පති ගැටලුවට සාධාරණ විසඳුම් ලබාදී පාසැල් අධ්‍යාපනය සුරක්‍ෂිත කළ යුතු බව වෘත්තීය සමිති හා සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ එකතුවක් පෙන්වාදි තිබේ.
 
සී.එම්.යූ මහ ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි සහ ලංකා බැංකු සේවක සංගමයේ සභාපති රංජන් සේනානයක යන මහත්වරුන්ගේ සමකැඳවුම්කාරකත්වයෙන් යුතුව පොදු දේපළ හා මානව හිමිකම් සුරුකීමේ මධ්‍යස්ථානය ඊයේ (18)කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මේ බව නිවේදනය කරන ලදී.
 
මේ පිළිබඳ ඔවුන් විසින් නිකුත් කළ නිවේදනයක වැඩිදුර මෙලෙස දැක්වෙයි.
 
රටේ සුවහසක් දරු දැරියන්ගේ නැණැස හදන ගුරු - විදුහල්පතිවරුන් සිය වැටුප් විෂමතා නිවැරදි කර, පිළිගත හැකි මට්ටමේ වැටුප් තලයක පිහිටුවන මෙන් ඉල්ලා සිදුකරන අරගලයට මේවන විට දින 99 ක් ගතවී ඇත. වර්ෂ ගණනක් දිග් ගැසුණු මෙම ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබාදෙන බව සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේම සඳහන් කර බලයට පැමිණි මෙම ආණ්ඩුවද ප්‍රශ්නය මඟ හරිමින්, කල් මරමින් එයම උඩු දිවිමට සලස්වා ඇත. 
 
එසේම ප්‍රශ්නය නිවැරදිව හඳුනාගනිමින් එයට විසඳුම් දෙනු වෙනුවට ගුරු - විදුහල්පති සංධාන වෘත්තීය සමිති නායකයින්ට විවිධ මඩ හා අවලාද එල්ල කරමින්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් මර්ධනය කිරීමට විවිධ කූඨ උපක්‍රම යොදමින් සිටී. රටේ රාජ්‍ය හා පුද්ගලික අංශය නියෝජනය කරන ස්වාධීන වෘත්තීය සමිති ලෙස අප ආණ්ඩුවේ මෙම ක්‍රියා කලාපය තරයේ ප්‍රතික්‍ෂේප කර සිටිමු. ගුරු - විදුහල්පති සංධානය සුබෝධනි වාර්තාව ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා සිටිද්දී, ආණ්ඩුව පත්කර ඇති අනු කමිටුව එයින් භාගයකටත් අඩු ප්‍රදානයන් නිර්දේශ කළ අතර එයද අදියර කිහිපයකින් නිශ්චිත කාල රාමුවක් රහිතව ලබාදෙන බව ප්‍රකාශ කරන ලදී.
 
ගුරු - විදුහල්පතිවරුන් වඩාත් නම්‍යශිලීවෙමින් එම ප්‍රදානිත මුදල පිළිගත්තද, එය එකවර ලබාදෙන මෙන් ඉල්ලා සිටින ලදී. නමුත් ඒ පිළිබඳව කිසිදු වගකිවයුතු, පිළිතුරක් ලබානොදී ආණ්ඩුව කල්මරමින් සිටී. දැන් නැවතත් අග්‍රාමාත්‍යවරයාගේ සාකච්ඡාවේදී එම මුදලම අදියර 03 කින් ලබාදීමට යෝජනාවී ඇත. වෘත්තීය සමිති සංධානය එය ප්‍රතික්‍ෂේප කර ඇති බැවින් ආණ්ඩුව කළ යුත්තේ විවිධ උපක්‍රම යොදා වෘත්තීය සමිති භේද භින්න කිරීමට හෝ මර්දනය කිරීමට උත්සාහ දැරීම නොව දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වගකියන බලධාරීන් පිරිසක් ලෙස ගුරුවන්ගේ මෙම ඉල්ලීමේ සැබෑ අවශ්‍යතාවය තේරුම්ගෙන ඔවුන්ට පිළිගත හැකි සාධාරණ විසඳුමක් ලබාදීමයි.
 
ඒ වෙනුවෙන් ප්‍රාදේශීය දේශපාලඥයින් යොදා ගෙන බලහත්කාරයෙන් පාසැල් විවෘත කිරීම, ජෝශප් ස්ටාලින්, මහින්ද ජයසිංහ ඇතුළු ගුරු සංගම් නායකයින්ට විවිධ අවලාද නැගීම, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරතවු ගුරු සංගම් ක්‍රියාකාරීන්ව නීතියට වංගු දමමින් මර්දනය කිරීමට උත්සාහ කිරීම ප්‍රශ්නය වඩාත් බරපතළ කරවන්නක් බව කිව යුතුය. ඒ නිසා ගුරු වෘත්තීය සංගම් හා වහා එකඟත්වයකට එළඹෙමින් මෙම ගැටලුව ඔවුන්ට පිළිගත හැකි ආකාරයෙන් නිරාකරණය කර රටේ දරු පරපුරේ අනාගත, අධ්‍යාපන අයිතිය සුරැකීමේ පියවරට වහා අවතීර්ණය වන මෙන් අප ආණ්ඩුවට බලකර සිටිමු.
 
01 ලංකා බැංකු සේවක සංගමය
02 ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය  
03 ලංකා වතු සේවා සංගමය 
04 මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය 
05 එක්සත් කම්කරු සම්මේලනය 
06 තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය 
07 ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය 
08 එක්සත් පොදු සේවා සංගමය 
09 වාණිජ හා කාර්මික සේවක සංගමය 
10 රක්‍ෂණ සේවක සංගමය 
11 තොරතුරු හා විදුලි සංදේශ සියලු සේවක සංගමය 
12 ලංකා ගුරු සංගමය 
13 දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව 
14 ටෙලිකොම් ඉංජිනේරුමය ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය
15 ආහාර, බීම සහ දුම්කොළ කර්මාන්ත සේවක සමිතිය 
16 ස්වාධීන තටාක සේවක සංගමය  
17 ජාතික නිදහස් වෘත්තීය සමිතිය 
18 රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය 
19 ලංකා වැවිලි සේවා සංගමය
20 ඉඩම් හා කෘෂිකාර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
21 ප්‍රොටෙක්ට් සංගමය