රාජ්‍ය අමාත්‍යාංශ නිළධාරීන් ඉල්ලා අස්වන බවට තර්ජනය කරන්නේ කැබිනට් අමාත්‍යාවරයාව රූකඩයක් කරගන්නයි

ravi-kumudesh

සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්, තමන්ගේ කැබිනට් අමාත්‍ය වරයා සමග ප්‍රසිද්ධියේ මත ගැටුම් ඇති කර ගැනීම ඉතිහාසය තුල ඉතා දුර්ලභයි. මේ වන විට ඉතා බහුලව සිදුවෙමින් පවතින් එම තත්වයට හේතුව රාජ්‍ය අමාත්‍යාංශය කැබිනට් අමාත්‍යාංශය අභිබවා බලය කෙන්ද්‍ර ගත කරගෙන තිබීමයි.

ඖෂධ  නීතිගත සංස්ථාව, ඖෂධ නිෂ්පාදන සංස්ථාව, ඖෂධ නියාමන අධිකාරිය, වෛද්‍ය සැපයීම් අංශය පමණක් නොව රසායනාගාර සේවාව වැනි අංශ සියල්ල කැබිනට් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පාළණයෙන් ගිලිහී තිබෙන තත්වයක් තුල, සෞඛ්‍ය ලේකම් වරයා වැනි ප්‍රධාන නිළධාරීන්ද කැබිනට් අමාත්‍යාවරයාගෙන් ඔබ්බට ගොස් නියෝග දෙන තත්වයක් තුල, රටේ මහජනතාව පත් කල ව්‍යවස්ථාණුකූල අමාත්‍යවරයා, රෝග ටික පමණක් අයත්  රූකඩයක් බවට පත්ව තිබේ.  මෙම ගැටුමෙහි ගොදුරක් බවට පත්වූ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය වැරදකරුවෙකු ලෙස ඉවත් කෙරිණි.

වර්තමාණ සෞඛ්‍ය අමාත්‍යවරයා එම ගැටුමට මුහුණදීමේදී, ඉල්ලා අස්වන බවට තර්ජනය කරමින් බලය කේවල් කිරීම, ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ප්‍රධාන නිළධාරීන්ගේ ඉල්ලා අස්වීමේ වාර්තාවෙහි සැබෑ තත්වයයි.

ඖෂධ පිළිබද වංචාවන් සහ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදන් වීම පිළිබදව සෙවීම සදහා රාජ්‍ය අමාත්‍යාවරයා පත්කල විශේෂඥ කමිටුව, ඖෂධ වංචාවන් පිළිබදව සෙවීම පසෙකට දමා, රාජ්‍ය අමාත්‍යවරයාට කැබිනට් බලතල ලබා දෙන ලෙස සිය පළමු නිර්දේශ මගින් යෝජනා කිරීමද මෙම ගැටුමෙහිම  එක් පරිච්චේදයකි. "නිදහසේ වැඩ කර ගෙන යෑම සදහා" ජනපති නියෝගයක් ලබා ගැනීම එම කණ්ඩායමේ උත්සාහය වී ඇති බව පැහැදිළි වන අතර, ඔවුනගේ නිදහස් යණු කැබිනට් අමාත්‍යවරයා අභිබවමින් තීරණ  ගැනීම සහ ලෙඩ ටික කැබිනට් අමාත්‍යවරයාට පවරා, පාළණයෙන් තොර නිදහසක් භුක්ති විදීමයි.

කෙසේ නමුත් ඖෂධ පිළිබදව වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවීමේ සැබෑ අරමුණ ඉටු වී ඇත්ද යන්න නැවත සලකා බැලීමක් මේ මොහොතේ සිදු කරන ලෙස අප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අතර, බැලූ බැල්මට අනවශ්‍ය ගැටුම් සහ ගැටළු වලට අමතරව, ඉන් මහ ජනතාවට අත්වූ වසියක් පෙනෙන්නට නැත.

එන්නත් ගෙන්වීම කාර්‍යක්ෂව සිදු කල බවට ඇතැම් නිලධාරීන්  ප්‍රචාරාත්මක වාසියක් ලබා ගැනීමට උත්සාහ කලද ලෝකයේ අඩුම ඉල්ලුමක් සහිත චීන එන්නත වැඩිම මිලකට ගෙන්වා ගැනීම සදහා විශේෂ කළමනාකරණ දක්ෂතාවයක් අවශ්‍ය නොවන බවද අප මෙහිදී පෙන්වා දෙමු.

රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය