දුම්රිය ධාවනය නොකිරීම දුම්රියේ අවසානය සනිටුහන් කිරීමද ?

sri-lanka-railway

රටේ සියළු කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්නේ නම්, දුම්රිය ධාවනය පමණක් දින නියමයක් නොමැතිව අත්හිටුවා තිබීම බරපතල ප්‍රශ්නයක් බවත්, දුම්රිය ධාවනය නොකරීම සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් දුම්රිය බලධාරීන් පවා නොදන්නා බව පෙන්වා දෙන අතර, නිසි සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රමවේදයකට අනුව දුම්රිය ධාවන කටයුතු ආරම්භ කරන ලෙසත්, එසේ ආරම්භ කිරීමට නොහැක්කේ නම් ඒ සඳහා බලපා ඇති කරුණු මොනවාද යන්න පිළිබඳවත් දැනුම්වත් කරන දුම්රිය වෘත්තීය සමිති සන්ධානය විසින් ප්‍රවාහන අමාත්‍යතුමිය වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, කොරෝනා වසංගත තත්වය නිසා මාස දෙකකට අධික කාලයක් දුම්රිය ධාවන කටයුතු නතර කර ඇත. කොරෝනා වසංගත තත්වය පාලනය කිරීම සඳහා එසේ කිරීම සම්බන්ධයෙන් අපද එකකඟවෙමු.

මේ වනවිට රාජ්‍ය සේවයේ රාජකාරී කටයුතු ආරම්භ කර ඇත. පෞද්ගලික අංශයේ බොහෝ ආයතන වල සේවකයින් සේවයේ යොදවා ඇත. පාසල් ආරම්භ කර ඇත. කඩ සාප්පු සියල්ලම විවෘත කර ඇත. බස් රථ ධාවනය ආරම්භ කර ඇත. පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණද, ඒ පිළබඳව නිසි අවධානයකින් කටයුතු කරන බවක් පෙනෙන්නට නැත. මේ ආකාරයෙන් රටේ බොහෝ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇති අතර, දුම්රිය සේවකයින් බොහෝ දෙනෙක් රාජකාරී වල නිරත කර ඇත.

එසේ වුවද, දුම්රිය ධාවනය නොකිරීම නිසා, රාජ්‍ය හා පෞද්ගලික අංශ වල සේවකයින්ට මෙන්ම ප‍්‍රවාහන මාධ්‍යක් ලෙස දුම්රිය භාවිතා කළ සියළු මගීන්ට දැඩි දුෂ්කර තාවයකට මුහුණදීමට සිදුවී ඇත. ඔක්තෝබර් මස 01, 14, 21 වශයෙන් අවස්ථා කිහිපයකදී ම දුම්රිය ධාවනය කිරීමට සැලසුම්කර තිබුණද, එය සිදුනොවූ බව පෙන්වා දෙන අතර, නැවත දන්වන තුරු දුම්රිය ධාවන කටයුතු අත්හිටුවා ඇති බව දුම්රිය බලධාරීන් මේ වන විට නිවේදනය කොට ඇත. මෙය දුම්රිය සේවයේ අවසානය සනිටුහන් කිරීමක් ද යන්න සැක සහිතය.

අනිකුත් සියළු කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්නේ නම්, දුම්රිය ධාවනය පමණක් දින නියමයක් නොමැතිව අත්හිටුවා තිබීම බරපතල ප්‍රශ්නයකි. දුම්රිය ධාවනය නොකරීම සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් දුම්රිය බලධාරීන් පවා නොදන්නා බව පෙන්වා දෙන අතර, නිසි සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රමවේදයකට අනුව දුම්රිය ධාවන කටයුතු ආරම්භ කරන ලෙසත්, එසේ ආරම්භ කිරීමට නොහැක්කේ නම් ඒ සඳහා බලපා ඇති කරුණු මොනවාද යන්න පිළිබඳවත් අප සංධානය දැනුම්වත් කරන ලෙසද, ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.