සමෘද්ධී ආරක්ෂණ ප්‍රතිලාභ ගෙවීමේදී අසාධාරණයක් වෙලා

samurshi-department

Covid -19 රෝගය වැලදුන නිවෙස් නිරෝධායනය කරන ලද සමෘද්ධි සහනාධාරලාභීන් හට සමෘද්ධි සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ගෙවීමේදී සිදුව ඇති අසාධාරණය සම්බන්ධව සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය විසින් සමෘද්ධි, ගෘහ ආර්ථික,ක්ෂද්‍ර මූල්‍ය, ස්වයං රැකියා රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් දැනුවත් කර තිබේ.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, Covid -19 වැලදුන සමෘද්ධිලාභී පවුල් වෙත සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදල මගීන් දිනකට රු.350/ බැගින් වර්ෂයකට උපරිම දින 30 යටත්ව එක් ප්‍රතිලාභී පවුලක් වෙත රු.10500/ උපරිම මුදලක් ගෙවීමට ප්‍රමාදවීමෙන් පසුව වුවද ගන්නා ලද තීරණය සමස්ත සමෘද්ධිලාභීන් වෙනුවෙන්ම අප අගය කර සිටින්නෙමු.

එහෙත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත එවන ලද 2021.08.25 දිනැති DSD/HO/5/14/16/01 යන සමෘද්ධි සමාජ ආරක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම යන ලිපියට අනුව 2021.08.25 දිනෙන් පසුව Covid -19 රෝගය වැලදුන සමෘද්ධිලාභීන් හට පමණක් ඉහත හිමිකම් ගෙවීමට ප්‍රාදේශීය ලේකම්වරු කටයුතු කිරීමේදී ඊට ප්‍රථම රෝගය වැලදුන සමෘද්ධිලාභී ජනතාව හට බලවත් අසාධාරණ මතුව ඇති බව අප මෙයින් පෙන්නා දෙන්නෙමු.

02. Covid -19 රෝගය වැලදුන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුයුක්ත සේවකයින් හට රු.10000/ භාණ්ඩ මල්ලක් ලබා දීමේදී අනුගමනය කරන ලද ක්‍රියාපටිපාටිය කෙරෙහි ඔබගේ අවධානය අප මෙයින් යොමු කරවන අතර මාසිකව සිය සමෘද්ධි සහනාධාරයෙන් රු.100/ මුදලක දායකත්වය ලබා දෙමින් රු.176,292,200/ කින් සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදල පෝෂණය කරන සමෘද්ධිලාභීන් හටද ඒ ආකාරයෙන්ම කටයුතු කරන මෙන් අප සංගමය මෙයින් ඉල්ලා සිටින්නෙමු.

03. උක්ත අප විසින් පෙන්නා දෙන කරුණු කෙරෙහි ඔබගේ විශේෂ අවධානය යොමු කර Covid -19 රෝගයට වැලදුන නිවෙස් නිරෝධායනයට ලක් කරන ලද සමස්ත සමෘද්ධිලාභීන් හටම මෙම සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ හිමිකම් ලබා දීමට කටයුතු කරන මෙන් මෙයින් ඉල්ලා සිටින අතර ඊට අදාල ලිඛිත දැනුවත් කිරීම ප්‍රාදේශීය ලේකම්වරු වෙත ලබා දෙන මෙන් මෙයින් ඉල්ලා සිටිමු.