විදුලිබල සේවකයින්ගෙන් විරෝධයක් - වරාය හා තෙල් සේවකයින්ගෙන් සහයක්

විදුලිබල සේවකයින්ගෙන් විරෝධයක් - වරාය හා තෙල් සේවකයින්ගෙන් සහයක්
හෙට  (03) පැවැත්වෙන විරෝධතා ක්‍රියාමාර්ගයෙන් පසු සිය වර්ජන සිදුකරන දිනයන් ප්‍රකාශයට පත්කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
 
 ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ වෘත්තීය සංවිධානය විසින් සංවිධානය කරන විරෝධතාව හෙට කොළඹ දී පැවැත්වීමට නියමිත බව එහි කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පවසයි.
 
"ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපිට සමස්ත විදුලි සේවකයින් එක තැනකට ගෙනල්ලා විරෝධතාවය පවත්වනවා. තෙල් සංස්ථාවේ සේවකයෝ ස්ථාන දෙකක දී එනම් වරාය සේවකයෝ වරාය ඔරලෝසු කණුව ඉදිරිපිටත් දැවැන්ත විරෝධතාවයකට එකතු වෙනවා. මේ වෙනකොට විදුලිබල මණ්ඩල සේවකයින්ගේ නිවාඩු සියල්ල අවලංගු කරලා තියෙනවා. චක්‍රලේඛනය නොසලකා හරිමින් ලෙඩ නිවාඩු වාර්තා කරලා, හෙට ඔක්කෝමල්ලා කොළඹට එනවා. අපි ජනතාවට කියනවා හෙට සිද්ධ වෙන්නේ වැඩවර්ජනයක් නෙමෙයි උද්ඝෝෂණයක්. නමුත් උද්ඝෝෂණයට කොළමට සේවකයින් පැමිණීම නිසා යම් ආකාරයක බිඳවැටීමක් සිද්ධ වුණත් යථාතත්ත්වයට පත්කිරීමේ දී ප්‍රමාදයක් ඇතිවිය හැකියි. හෙට අපි අනිවාර්යයෙන්ම උද්ඝෝෂණය කරනවා. වැඩවර්ජන තීන්දුවක් අරන් තියෙන්නේ. වැඩ වර්ජන තීන්දුවේ දිනය කවදාද කියලා ප්‍රකාශයට පත්කරනවා හෙටින් පස්සේ."
 
මේ අතර පසුගියදා රජය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ද ඔහු මෙලෙස අදහස් පළ කළේය.
 
"පසුගිය සිකුරාදා ගැසට් එකක් නිකුත් කළා තෙල් එකටයි වරායටයි අත්‍යාවශ්‍ය සේවාවක් කරලා. හැබැයි ලංකා විදුලිබල මණ්ඩලය අත්‍යාවශ්‍ය සේවාවක් කරලා ගැසට් නිවේදනයක් ගැහුවේ නෑ. ඒක අමතක වීමක් හෝ අතපසුවීමක් නොවෙයි. අපිට සැකයක් තියෙනවා රටේ කවුරුත් නොදන්න ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 12ක නායකයෝ නොදන්න දේවල්  ගිවිසුමේ අන්තර් ගතවෙලා තියෙනවා ද කියලා."