කතා තුනක්

කතා තුනක්

අල් ජසීරා ප්‍රවෘත්ති සේවයේ ලංකාව ගැන ලිපියක් ඊයේ පළවී තිබුනා.  පහත දැක්වෙන්නේ එම දීර්ඝ ලිපියෙන් උපුටා ගත් කතන්දර තුනක්.

චන්දන සිල්වා (45) කොළඹ හෝටලයක වේටර්වරයෙක්.  කොරෝනා ව්‍යාප්තියත් සමග ව්‍යාපාරික කටයුතු බිඳ වැටීම නිසා දැන් ඔහුගේ ආදායම තුනෙන් පංගුවකට බැහැලා.  එහෙමත් වෙද්දි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම චන්දනගෙ පියා ඇතුළු පස් දෙනෙකුගෙන් යුතු පවුල මහත් අසීරුතාවයකට පත් කරලා.

"අපේ පරිභෝජන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා"  චන්දන අල් ජසීරාවට කියනවා.  "මම පුළුවන් තරම් හෝටලයෙන් මොනවා හරි කන්න බලනවා, එතකොට ගෙදරට පිරිමැහෙන නිසා.  නමුත් අමාරුයි.  උදේට කිරිවලට වැඩිපුර වතුර මිශ්‍ර කරනවා.  හවසට කහට තේ බොනවා.  එහෙම පිරිමහලත් දවසකට එක වේලක්වත් කලින් වගේ කන්න බෑ".  ඒ චන්දනගේ කතාව.

කොළඹ බැංකුවක ආරක්ෂක නිලධාරියෙක් වන මොහොමඩ් ෆලීල් (51) කියා තිබුනෙ ජීවන වියදම ඉහළ යාම ඔහුගේ පවුලට තදින් දැනෙන බවයි.  ඔහුගේ මාසික වැටුප, රපියල් 60000/-, ප්‍රමාණවත් නැති නිසා ඔහු අමතර රැකියාවක් වශයෙන් ත්‍රීවිලයක් පදවා තව රුපියල් 12,000/- පමණ උපයන්නට පටන් අරන්.  නමුත් මූලික අවශ්‍යතා සඳහා තව රුපියල් 40,000/-ක් වත් ඕනෙ කියලයි ඔහු කියන්නෙ.

"මාළුයි කුකුල් මසුයි දෙගුණයකින් මිල ඉහළ ගිහින්.  කිරිපිටියි, ගෑසුයි ⁣හොයාගන්න නෑ.  ගෑස් නැති නිසා භූමිතෙල් වලින් උයන්න ගත්තා. දැන් භූමිතෙලුත් නෑ.  දැන් අපි උයන්නෙ දරවලින්.  සඳුදා ඉඳන් ඉස්කෝල පටන් ගත්තම ළමයින්ගෙ යුනිෆෝම්, වෑන් ගාස්තුවලට සල්ලි හොයන එක තමා ප්‍රශ්නෙ".  ඒ ෆලීල්ගෙ කතාව.

දරුවො දෙන්නෙක් ඉන්න විජයලක්ෂ්මීගෙ ජීවිකාව වුනේ දිනපතා පඩියට නිවාස පිරිසිදු කිරීම.  වසංගතයේ ව්‍යාප්තියත් සමග ඇයට රැකියාව අහිමි වෙනවා.  ඒ එක්කම ජීවන වියදම නොහිතූ විදිහට ඉහළයාම ඔවුන්ගේ ජීවිත විශාල අර්බුදයකට ලක්කරලා.  "අපි ගෙදරට පිටිකිරියි සීනීයි ගේන එක නැවැත්තුවා.  අපිට වියදම දරන්න බැරි නිසා.  පොඩි උන්ට උදේට හවසට කහට තේ දෙනවා හකුරු ඇබිත්තක් එක්ක.  මම පොඩි උන්ට බොරු කිව්වා පිටිකිරි බොන එක හානිදායකයි කියලා හොයාගෙන තියනවා කියලා".  ඒ විජයලක්ෂ්මීගෙ දුක.

මේ ලිපිය කියවලා උද්ධමනය හෙවත් භාණ්ඩ මිල ගණන් ඉහළයාම පිළිබද  නිල සංඛ්‍යාලේඛන පරීක්ෂා කරන්න ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩෙවියට ගියා.  කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව 2021 ඔක්තෝබර් මාසයේදී සමස්ත මිල ගණන් 2020 ඔක්තෝම්බරයට සාපේක්ෂව ඉහළ ගිහින් තියෙන්නෙ සියයට 7.6කින්.  හැබැයි ආහාර ද්‍රව්‍ය විතරක් ගත්තොත් ඒ ඉහළ යාම ඊට වැඩියි.  සියයට 12.8ක්.  අනිවාර්යයෙන්ම මේ දෙකම නොවැම්බරයේදී සහ දෙසැම්බරයේදී තව ඉහළ යාවි.

ප්‍රශ්නෙ මේ ඉලක්කම් සිල්වලා, මොහොමඩ්ලා, විජයලක්ෂ්මීලා වැටුනු විපත කෙතරම් නියෝජනය කරනවද කියන එකයි.

(උපුටා ගැනීම සමාජ මාධ්‍ය)