හිෂාලිනීට යුක්තිය ප්‍රමාද ඇයි? ප්‍රොටෙක්ට් සංගමය ඩයගම දී අසයි !  

හිෂාලිනීට යුක්තිය ප්‍රමාද ඇයි? ප්‍රොටෙක්ට් සංගමය ඩයගම දී අසයි !  
මීට මාස පහකට පමණ ඉහත දී, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවයේ යෙදී සිටිය දී අභිරහස් ලෙස මරණයට ලක් වූ හිෂාලිනී දැරියගේ මරණය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස රජයට සහ වගකිව යුතු පාර්ෂවයන්ට බල කරමින් පවත්වන ලද විරෝධයතාවයක් අද (10) ඩයගම-බටහිර අංක 02 විදුහල අසල දී පැවති අතර එය ප්‍රොටෙක්ට් සංගමය විසින් සංවිධානය කර තිබුණි.
 
ලෝක මානව හිමිකම් දිනය යෙදෙන අද දිනයේ දී ඔවුන් මූලිකව විමසා සිටියේ අඩු ම තරමේ ජීවත් වීමේ අයිතියවත් මෙරට ජනතාවට සාක්ෂාත් කිරීමට රජයන් අසමත් වන්නේ මන්ද කියාය. හිෂාලිනීගේ අභිරහස් මරණය එකී ප්‍රශ්නය සමාජයක් ඉදිරියේ ප්‍රශ්න කරන නිසාවෙනි. එනිසා ඇයගේ මරණය සම්බන්ධයෙන් විධිමත් හා සාධාරණ පරීක්ෂණයක් පවත්වා ඒ සම්බන්ධයෙන් ‍රටට හෙළි කළ යුතු බවත්, එකී පරීක්ෂණ දේශපාලන බලපෑම්වලින් තොර විය යුතු බවත්, වරදකරුවන් හට නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස උද්ඝෝෂණය සඳහා සහභාගි වූ හිෂාලිනීගේ ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියහ.
 
ඉන් නොනැවතී කාන්තාවන් සහ ගැහැණු ළමුන්ට එරෙහිව සිදු වන සියලූ ම ආකාරයේ හිංසනයන් නැවැත්වීමට කටයුතු කරන ලෙස ඔවුන් රජයට බල කළ අතර ඔවුන් තවදුරටත් විමසා සිටියේ ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෙකුගේ නිවසේ තත්ත්වය මෙසේ වන විට ව්‍යවස්ථාදායකය කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්  කටයුතු කරන්නේ කෙසේ ද කියාය? එකී විශ්වාසය තහවුරු කිරීම පිළිබඳ සහතිකයක්, හිෂාලිනීට යුක්තිය ඉෂ්ට කිරීමෙන්  තමන් බලාපොරොත්තු වන බව උද්ඝෝෂණකරුවෝ කියා සිටියහ.
 

මීට සමගාමීව සියලු ආකාරයේ කාන්තා සහ ගැහැණු ළමුන්ට වන හිංසනයන් සහ ඒවායෙන් ආරක්ෂා වීමට ගත හැකි පියවර වීදි නාට්‍ය අනුසාරයෙන් ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමට ප්‍රොටෙක්ට් සංගමය කටයුතු කළ අතර . එය නැරඹීමට ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් රැස්ව සිටියහ.

4098

4159

4188