පකිස්තානයේ ඝාතනය වූ ප්‍රියන්ත කුමාරට වන්දි ගෙවීම සඳහා කැබිනට් සංදේශයක්

priyantha-kumara

පාකිස්ථානයේ සියල්කොට් ප්‍රදේශයේදී අමානුෂික ලෙස ආගමික අන්තවාදීන් අතින් ඝාතනය ප්‍රියන්ත කුමාර මහතා වෙනුවෙන් මුදලක් ප්‍රදානය කිරීම සඳහා  කම්කරු අමාත්‍ය, නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර ඇත.

කම්කරු අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇති එම කැබිනට් සංදේශයට අත්සන් තබා ඇත්තේ කම්කරු අමාත්‍යවරයා වන අතර, එම කැබිනට් සංදේශය පහතින් දැක්වේ.

අමාත්‍ය මණ්ඩල සංදේශ අංකය:   28  / 2021

අමාත්‍ය මණ්ඩල සංදේශය

පාකිස්ථානයේ සියල්කොට් ප්‍රදේශයේදී අමානුෂික ලෙස ඝාතනය වු ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයෙකු වෙනුවෙන් වන්දි මුදලක් ප්‍රදානය කිරීම

01.  පසුබිම

2021 දෙසැම්බර් 03 දින පකිස්තානයේ සියල්කොට් ප්‍රදේශයේ මැර පිරිසක් විසින් කර්මාන්ත ශාලාවක කළමනාකරුවෙකු ලෙස සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකුට වධ දී ඝාතනය කර සිරුරට ගිනි තබා ඇත.

ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයා දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාර නමැත්තා ලෙස හඳුනාගෙන ඇති අතර පවුලේ ඥාතීන් ප්‍රකාශ කරන පරිදි අංක N8794593 දරන විදේශ ගමන් බලපත්‍රය මත ඔහු 2010 වසරේදී රැකියාවක් සඳහා පකිස්ථානය බලා පිටත්ව ගොස් ඇත. ප්‍රියන්ත මහතා 2012 වසරේ සිට පකිස්ථානයේ සියල්කොට් කර්මාන්ත ශාලාවේ කළමනාකරු ලෙස කටයුතු කර ඇති නමුත් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නඩත්තු කරන දත්ත පද්ධතිය අනුව ඔහු එම කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගෙන නොමැති බවට කරුණු අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති අතර අදාළ බලධාරීන් ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් පවතී. මෙම ම්ලේච්ඡ ඝාතනය ලොව පුරා බොහෝ දෙනා කම්පනයට පත් කර ඇති අතර 2021 දෙසැම්බර් 04 දින පැවති අයවැය විවාදය අතරතුර ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේදී ද මේ සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.

02.  සාධාරණීකරණය

දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාර මහතා වසර 11කට අධික කාල සීමාවක් පාකිස්ථානයේ සේවය කර ඇති අතර ඔහු ශ්‍රි ලාංකිකයෙකු ලෙස විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රි ලාංකීය ආර්ථිකය ශක්තිමත් කිරිම සඳහා මෙරටට ප්‍රේශණය කර ඇති බව පැහැදිලි වේ.

ශ්‍රි ලාංකික ආර්ථිකයට කරන ලද පුළුල් දායකත්වය වෙනුවෙන් ඔහුගේ මරණය වෙනුවෙන් ඔහුගේ පවුලේ හා දරුවන්ගේ සුභසාධනනය සඳහා මානුෂිය පදනම මත වන්දි මුදලක් ප්‍රදානය කිරිම කාලෝචිත බව පෙනී යයි.

03.  නිර්දේශ

අභාවප්‍රාප්ත ප්‍රියන්ත කුමාර මහතා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය නොමැතිව විදේශ ගත වුවත්, මානුෂිය පදනම මත ඔහුගේ බිරිඳ හා දරුවන්ට සඳහා සේවක සුභාසාධන අරමුදල යටතේ රුපියල් මිලියන 2.5 ක වන්දි මුදලක් ලබා දිම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

එබැවින්, ඉහත කරුණු සැළකිල්ලට ගෙන පකිස්තානයේදී ඝාතනයට ලක්වූ දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාර මහතාගේ මරණය හේතුවෙන් අසරණභාවට පත් බිරිඳ හා දරුවන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවක සුභසාධක අරමුදල මගින් රුපියල් මිලියන 2.5ක වන්දි මුදලක් ගෙවීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පතමි.