අභ්‍යාසලාභී උපාධිධාරින්ට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් වැදගත් සිහිපත් කිරීමක්

අභ්‍යාසලාභී උපාධිධාරින්ට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් වැදගත් සිහිපත් කිරීමක්

අභ්‍යාසලාභීන් ලෙස පුහුණු වන  උපාධිධාරීන් 51000 කට රජයේ ස්ථීර පත්වීම් ලබා දීම 2022 ජනවාරි 03 වනදායින් ආරම්භ වන බවත්, ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බවත්, ඒ සම්බන්ධයෙන් පත් කර තිබූ කැබිනට් අනුකාරක සභාවේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙස උසස් අධ්‍යාපන ආයතනවලින් බිහිවූ තරුණ ප්‍රජාව රැකියාගත කිරීමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත මෙය ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව දැනට පුහුණුව ලබන  රැකියා විරහිත උපාධිධාරීන් 51000 ම , රජයේ සංවර්ධන නිලධාරීන් ලෙස 2022 ජනවාරි 03වනදා නියමිත රැකියා ස්ථානයේ ස්ථානගත කෙරෙන අතර, ඔවුන්ගෙන් වසරක පුහුණුව සම්පූර්ණ කළ 42500ක පමණ පිරිසගේ සේවය එදින ම ස්ථීර කරේ. 2021 පෙබරවාරි හා මාර්තු මාසවල පුහුණුව සඳහා බඳවා ගත් පිරිස, වසරක කාලය සම්පූර්ණ වීමෙන් පසු 2022 අප්‍රේල් 1 වැනිදා ස්ථීර කිරීමට නියමිතය.

මේ අතරින් ගුරු සේවය සඳහා පත්වීම් 22000 ක් ලබා දීමේ හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළේය. කැබිනට් අනුකාරක සභාවේ සභාපති , අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ පළමුව, 51000 ම රාජ්‍ය සේවයේ ස්ථීර කරන බවය.

අනතුරුව ගුරු සේවයට එක් වීමට කැමති අයට (දැනට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුහුණුව ලැබූවද, නොලැබුවද) ඉල්ලුම් කර, ගුරු සේවයට එක්වීමේ අවස්ථාව ලබා දීමට, ගුරු සේවා ව්‍යවස්ථාව අනුව කටයුතු කරන බවද ඔහු අනාවරණය කළේය.