අත්හැර දමා ඇති ඉඩම් වතු කම්කරුවන්ට ලබාදීමට පියවර ගන්නවා

අත්හැර දමා ඇති ඉඩම් වතු කම්කරුවන්ට ලබාදීමට පියවර ගන්නවා

ප්‍රයෝජනයට නොගෙන අත්හැර දමා ඇති වැවිලි සමාගම්වල ඉඩම් වතු කම්කරු ජනතාවට හෝ ප්‍රදේශයේ  තරුණයන්ට  බෙදා දීමට පියවර ගැනීමට රජය තීරණය කර ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

මෙම ඉඩම්ලාභීන්ට ඒවායේ පදිංචි විය නොහැකි අතර, එම ඉඩම් කෘෂිකාර්මික හෝ පශුසම්පත් අංශයේ ආර්ථික ඵලදායීතා ව්‍යාපෘති වල යෙදවිය යුතු බව අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකම්කරු  ජනතාවගේ අර්ථසාධක හා සේව⁣ නියුක්ති අරමුදල් හා සේවා ගැටලු පිළිබඳ සොයා බලා විසඳුම් ලබාදීමේ කම්කරු අමාත්‍යංශයේ ජංගම  සේවයට එක් වෙමින්ය.

නුවරඑළිය ලබුකැලේ දම්රෝ වතුයායේ ප්‍රදර්ශනාගාර භූමියේ මෙම ජංගම අමාත්‍යංශ සේවය පසුගියදා (18) දින පැවතුණි.

මෙම ජංගම සේවයට සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල, කම්කරු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ වතු අධිකාරිවරු  සහභාගි වූහ.

මෙහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා ප්‍රකාශ කළේ, කළමනාකරණය සඳහා වතු සමාගම්වලට පවරා දුන් රජයේ වතුවල  මේ වන විට කිසිදු ආර්ථික  ක්‍රියාවලියක් සිදු නොවන, කැලෑ වැවී ඇති  ඉඩම් විශාල ප්‍රමාණයක් ඇති බවට වාර්තා වී ඇත.

මෙසේ ප්‍රයෝජනයට නොගන්නා වතුවල ඉඩම් රජයට පවරා ගැනීම සඳහා වූ   ඌන උපයෝගිතා පනත මේ වන විට රජය සකස් කර ඇති බවත්, ඒ අනුව මෙම ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් ආර්ථික ඵලදායි ක්‍රියාවලියකට යොමු කිරීමට එම සමාගම්වලට මාස හයක කාලයක් ලබාදීමට රජය තීරණය කර ඇත.

එම මාස හයක කාලය තුළ එකී ඉඩම් ආර්ථික ඵලදායී ක්‍රියාවලියකට යොදවන්න  එම සමාගම් සමත් නොවන්නේ නම් නොවන්නේ නම් එම ඉඩම් එම වතු ජනතාවට හෝ ප්‍රදේශයේ තරුණ ජනතාවට හෝ ප්‍රදේශයේ සෙසු ජනතාවට  ලබාදී එම ඉඩම් තුළින් ආර්ථික ඵලදායීතාවක් ලබා ගැනීමට රජය තීරණය කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.කෘෂිකාර්මික පශු සම්පත් සංවර්ධන ව්‍යාපෘති සඳහා එම ජනතාවට එකී ඉඩම් පාවිච්චි කළ හැකි අතර, එම  ඉඩම්වල අයිතිය ඔවුන්ට ලබාදීම සිදු නොකෙරේ.

එසේම වතු කම්කරු ජනතාවගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමේ තීන්දුවට එරෙහිව මේ වන විට වතු සමාගම්  අධිකරණයේ නඩුවක් පවරා ඇති බැවින් ඒ පිළිබඳව කථා කිරීමෙන් තමන් වැළකී සිටින බවයි.එහෙත්  මෙම වතුකම්කරුවන්ට රුපියල් දහසේ වැටුප ලබාදීම අධිකරණය වළක්වා නොමැති තත්ත්වයක් තුළ, නඩුව අතරවාරයේ වතු කම්කරු ජනතාවට රුපියල් දහසේ වැටුප ලබාදීමට බොහෝ වතු සමාගම් කටයුතු කරත් දි සමහර වතු බලධාරීන් විවිධ  නීතිරීති දමමින් එම කම්කරු ජනතාව පීඩාවට පත්කිරීම තමන් දැඩි ලෙස හෙළා දකින බවය.එසේම වතු කම්කරු ජනතාවට රුපියල් දහසේ වැටුප නොගෙවීම පිළිබඳ ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීමට විශේෂ කොමසාරිස්වරයකු යටතේ කමිටුවක් පත් කරන ලෙස ද ඇමතිවරයා මෙහිදී  කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.ඒ අනුව මෙම අධිකරණ ක්‍රියාවලියෙන් පසුව   වතු කම්කරු ජනතාව පීඩාවට පත් කරන  කටයුතු වැළැක්වීම සඳහා නව නීති පද්ධතියක් ගෙන එන බව අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

එසේම එසේම වතු වතුකම්කරුවන්ට රුපියල් 1000 දෛනික වැටුප ලබාදීමට නොපැකිලව  පෙරමුණ ගත් දම්රෝ සමාගමට අමාත්‍යවරයා මෙහි දී සිය ප්‍රශංසාව පළ කළේය.

මෙහි දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්

අමාත්‍යවරයා  ප්‍රකාශ කළේ , වතු කම්කරුවන්ට ගෞරවනීය ලෙස  නොසැලකුවත්හොත් ඉදිරි කාලයේ දී තරුණ පරපුර වතු රැකියාවලින් බැහැරව යාමට ඉඩ ඇති බැවින්, ඒ පිළිබඳව දුරදිග සිතා කටයුතු කිරීම වතු පාලකයන්ගේ යහපතට හේතුවන බවයි.මේ වන විටත් වතු  තරුණයන් විශාල පිරිසක් කොළඹ රැකියාවල නිරත වී සිටින බව ද අමාත්‍යරයා මෙහි දී පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ මහතා,කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, දම්රෝ සමාගමේ නිලධාරීන් ද මහ බැංකු නිලධාරීන් ද සහභාගී වූහ.