වෛද්‍ය වර්ජනය දිගටම

වෛද්‍ය වර්ජනය දිගටම

ඉල්ලීම් හතක් මුල්කර ගනිමින් දිවයින පුරා රෝහල්වල දී මේ වනවිට ක‍්‍රියාත්මකව පවතින අඛණ්ඩ වැඩවර්ජනය තවදුරටත් පවත්වාගෙන යෑමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (22දා) තීරණය කර ඇත.

පෙරේදා (21දා) සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ පැවැති සාකච්ඡාවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත්කර ඇති ඉල්ලීම් පිළිගෙන ඇතත් එයට සෞඛ්‍ය ඇමැතිවරයාගේ අනුමැතිය මේ වනතුරුත් නොලැබී යෑම හේතුවෙන් සිය වෘත්තීය ක‍්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑමට එම සංගමය පියවර ගෙන ඇත.

මේ පිළිබඳ ඊයේ (22දා) අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා මෙසේද ප‍්‍රකාශ කළේය.

අපේ ඉල්ලීම් නිවැරදි කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා එකඟතාව පළ කළා. නමුත් ඒ සඳහා සෞඛ්‍ය ඇමැතිවරයාගේ අනුමැතිය අවශ්‍යව තිබෙනවා. අප සංගමය ඉදිරිපත් කළ තාක්‍ෂණික කාරණාවලට ඇමැතිවරයාගේ අනුමැතිය අවශ්‍ය වන්නේ නැහැ. නමුත් අද සෞඛ්‍ය අමාත්‍යාංශය දේශපාලනීකරණයට ලක්වෙලා. වෛද්‍ය පත්වීම් වලට දේශපාලන බලපෑම් ඇතිවෙලා තියෙන බව මෙමගින් ඔප්පු වෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අපි මේ වෛද්‍ය වර්ජනය දීපව්‍යාප්තව සිදු කළත් මෙරට ජනතාවගේ ප‍්‍රධාන රෝහල් අවශ්‍යතාවන් වෙනුවෙන් තවදුරටත් කටයුතු කරනවා. නිත්‍යානුකූල වෛද්‍ය මාරු මණ්ඩල වල අනුමැතියෙන් තොරව විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුයුක්ත කිරීම, නීත්‍යානුකූල වෛද්‍ය මාරු මණ්ඩලවල අනුමැතියෙන් තොරව ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ අනුයුක්ත කිරීම්, 2022 වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව ප‍්‍රකාශයට පත් නොකිරීම, රාජිත සේනාරත්න මහතා වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ නිවැරදි ක‍්‍රමවේදයෙන් තොරව සිදුකළ කාරණා නිවැරදි කිරීමට ලබාදුන් කැබිනට් අනුමැතිය කි‍්‍රයාත්මක නොකිරීම, ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවේ නිලවරණයට අදාළ ගැසට් පත‍්‍රය නිකුත් නොකිරීම, ජාතික වැටුප් ප‍්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම සහ සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලිපි ශීර්ෂ භාවිත කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ කාණ්ඩ අතර ගැටල ඇතිවන ලෙස වැටුප් සම්බන්ධ ප‍්‍රතිපත්ති උල්ලංඝනය කිරීම යන ගැටලූ සඳහා වහාම විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පසුගිය 21දා සිට මෙම දීපව්‍යාප්ත වෛද්‍ය වර්ජනය ආරම්භ කර තිබිණ.

(දිවයින)