මෙරට සෞඛ්‍ය සේවාවට එල්ලවී ඇති කොවිඩ් අභියෝගය තවමන් අවසන් නැහැ

මෙරට සෞඛ්‍ය සේවාවට එල්ලවී ඇති කොවිඩ් අභියෝගය තවමන් අවසන් නැහැ

 ගෝලීය කොවිඩ් ව්‍යසනය හමුවේ මෙරට සෞඛ්‍ය සේවාවට එල්ලවී ඇති අභියෝගය තවමන් අවසන්ව නැතැයි සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ව්‍යසනය සාර්ථකව පාලනය කරමින් 2021 වසරේ අභියෝග රැසක් ජයගත් බවත්, තවත් අභියෝග රැසක් ජයගැනීමට තිබෙන 2022 වසර මෑත කාලීනව රටෙහි අභියෝගාත්මකම වසරක් වනු ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසිය .

නව වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු සුබ මොහොතින් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

මෙහිදී අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය නව වසරේ රාජකාරී ප්‍රතිඥාව ලබාදීම ද සිදු විය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන චන්න ජයසුමන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය මේජර් ජනරාල් සංජීව මුණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම කාර්ය මණ්ඩලය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පිළිගනු ලැබිය.

ගෙවුණූ වසරේ සෞඛ්‍ය සේවාවේ ඉහළ සිට පහළ දක්වා සෑම තරාතිරමකම සෞඛ්‍ය කාර්යමණ්ඩලවල පිරිස් කොවිඩ් ව්‍යසනය පාලනය සදහා දැක් වූ කැපකිරිම් දෙස බලන විට  නව වසරේ අභියෝග ජයගැනිම අපහසු නොවන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කීය.

මේ වනවිට සාර්ථක එන්නත්කරණය තුළින් කොවිඩ් ව්‍යසනයේ පාලනය නිසි ලෙස කරණ ලොව රටවල් තුන හතර අතරට ශ්‍රී ලංකාවට පැමිණීමට හැකි වී ඇතැයි ද ලොව ප්‍රබල රටවල් අතරින් ගත්විට එය ඉහළ ජයග්‍රහණයක් යැයි ද අමාත්‍යවරයා කීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “අමාත්‍යාංශ ඇතුළු ප්‍රමුඛ ආයතන සියල්ල ගත්විට මේ මොහොතේ ඉහළම ඇගයීමට ලක්විය යුතු අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශයයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩල තම වගකීම යුතුකම නිවැරදිව ඉටු කළා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට 2022 වසරේ ද අභියෝග ජය ගැනීමට හැකිවනු ඇත. සුව සේවාවේ  කාර්ය මණ්ඩලවල කැපවිම රටේ අනාගත සුබ සිද්ධිය සදහා දැඩිව දායක වෙනවා.”

“ Third World to The first World” පොතේ “ලීක් ක්වාන් යූ” මැතිතුමා කියා තිබෙන්නේ මුලින්ම ලංකාවට පැමිණ පරික්ෂණයක් කර මට සිංගප්පූරුව ලංකාව වගේ කරන්න අවශ්‍යයයි කියාය. මාළු දුපතක් ලෙස තිබූ, වරායක්වත් නොතිබුණු සිංගප්පූරුව කෙටි කලක් තුල ඉහළ සංවර්ධනයකට ලක් වූයේ විනයගරුක සමාජයක් බිහි කිරීමෙනි. අද ලෝකයේ ඒක පුද්ගල ආදායම පළමු තැනට ගෙන ඇති රට බවට එම රට පත්ව තිබෙනවා. එ් උදාහරණය තමයි අද දෙන්න පුළුවන් හොදම උදාහරණය. එම උදාහරණය හරහා අපි ගමන් කරමු. අභියෝග ජයගත් කණ්ඩායමක් ලෙස අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල පෙන්වා දිය හැකියි. තවම අභියෝගය අවසන් නැහැ. අප ලබාගත් ජයග්‍රහණය ඉදිරියට ගෙන ගොස් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ගෞරව නාමය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෑම සේවකයෙකුගේම කැපවීම මේ රටේ අනාගත සුබසිද්ධිය සදහා දැඩිව දායක වුණා කියා. අවසන් වාක්‍ය අපි කියවා ගත් දාට අපි සාර්ථක පුරවැසියන්.”