ස්ථීර සේවයට බඳවාගත් උපාධිධාරීන්ට හිමි වැටුප් ගැන රජයෙන් සිහිපත් කිරීමක්

ස්ථීර සේවයට බඳවාගත් උපාධිධාරීන්ට හිමි වැටුප් ගැන රජයෙන් සිහිපත් කිරීමක්

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ 2020 වසරේ බදවා ගත් උපාධිධාරි අභ්යාසලාභීන් 58,145  අතුරින් 51,682   ස්ථිර පත්වීම් ලබාදුන් බව  රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය  ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගිය 05 වෙනි දා ප්‍රකාශ කර තිබේ.  ඉතිරි උපාධිධාරීන් පිරිස එළඹෙන අප්‍රේල් මස 01 වැනිදා සිට ස්ථීර සේවයට අන්තර්ග්‍රහණය කරන බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

 වසරක පුහුණුවකින් පසු ජනවාරි මස තුන් වැනිදා සිට ස්ථීර සේවයට අන්තර්ග්‍රහණය කරන මෙම අභ්‍යාසලාභීන් සඳහා 31,490 ක මූලික වැටුප සමග සියලු දීමනා ද එකතුව රුපියල් 41,490 ක්  වැටුපක් මාසිකව හිමිවන බවද  රාජ්‍ය සේවකයන් සඳහා ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාව ද මෙම පිරිසට ලබා දෙන බවත් අමාත්‍යවරයා එහිදී සිහිපත් කළේය.

ස්ථිර පත්වීම් ලැබූ 27,437 ක්   පළාත් රාජ්‍ය සේවා වල අවශ්‍යතාවය අනුව  පලාත් රාජ්ය සේවයේ පත්වීම් ලබාදීම සඳහා පළාත් සභා විසින් මේ වන විට සම්මුඛ පරීක්ෂණ පවත්වා පත්වීම් ලබා දීමේ කටයුතු සිදු කරගෙන යන බව ද හෙතෙම පැවසීය. 

 සංවර්ධන නිලධාරීන් ලෙස  පත්වීම් ලබන පුහුණු ලාභීන්ගේ පත්වීම් ලිපි දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු වෙත යැවීමට සූදානම් කරමින් තිබෙන බව ද ඇමැතිවරයා පැවැසීය.

මෙම පිරිසෙන් 21000 ක පමණ පිරිසක්  අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ හා පළාත් සභා යටතේ ඇති පාසල් වලට සංවර්ධන නිලධාරීන් ලෙස පත් කර ඉන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් ගුරු සේවයේ පුරප්පාඩු සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබාදී අනතුරුව ඔවුන් ඒකාබද්ධ සේවයෙන් ඉවත් කර එම ආයතන වලට අනුයුක්ත කිරීමට සැලසුම් කර තිබෙන බව ඇමැතිවරයා සඳහන් කළේය.

නවක පත්වීම් ලබන සියලු දෙනාම ඔවුන් පදිංචි දිස්ත්‍රික්කවල හා පලාත් තුළ ස්ථානගත කිරීමට කටයුතු කර ඇති අතර ඉතා සීමිත අවස්ථාවන්හිදී පමණක් පළාතෙන් පිටත ස්ථානගත කිරීමට කටයුතු කර ඇති බවත් සිහිපත් කළේය.