ඉදිරියේදී ඕනෑම මොහොතක දුම්රිය වර්ජනයක්

ඉදිරියේදී ඕනෑම මොහොතක දුම්රිය වර්ජනයක්

දුම්රිය ධානවය කිරීමේදී හා දුම්රිය ස්ථානාධිපතිවරුන්ට ඇති වී තිබෙන ගැටලු විසඳන බවට බලධාරීන් ලබාදුන් පොරොන්දු කඩ වී තිබෙන නිසා ඉදිරියේදී ඕනෑම මොහොතක දුම්රිය ස්ථානාධිපති වැඩවර්ජන සිදුවිය හැකි බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කරයි.

පසුගිය සතිය තුළදීත් මේ ආකාරයට වැඩවර්ජන සිදු වූ බවත්, මේ නිසා ලබාදී තිබෙන පොරොන්දුවලින් ක්‍ෂණිකව සිදුකළ හැකි පොරොන්දු ටිකවත් ඉටු කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් එම සංගමය පැවසීය.

සියලුම් දුම්රියන් හා රාත්‍රී තැපැල් දුම්රියන් මේ මස 03 වැනිදා සිට සාමාන්‍ය පරිදි ධාවනය කරන බවට පසුගිය 28 වැනිදා ප්‍රවාහන බලධාරීන් පොරොන්දු වූ බවත්, එහෙත් තවමත් එම පොරොන්දුව ඉටුකර නොමැති බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කරයි.

මීට අමතරව 2021 වසරේදී සිදුකළ දුම්රිය ස්ථාන වර්ගීකරණයට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය මෙතෙක් ලැබී නොමැති බවත්, මේ නිසා දුම්රිය ස්ථානාධිපති ස්ථාන මාරු වීම්වලට ගැටලු ඇති වී තිබෙන බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කරයි.

මේ නිසා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට එය තාවකාලික පදනමින් ක්‍රියාත්මක කර දුම්රිය ස්ථානාධිපති මාරුවීම් ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි බවත්, එහෙත් මෙතෙක් එම කටයුත්ත සිදුකර නොමැති බවත් මේ නිසා මේ වසරේ ජනවාරි 01වැනිදා සිදුවිය යුතු ස්ථාන මාරුවීම් සිදු නොවූ බවත් එම සංගමය පැවසීය.

මීට අමතරව දුම්රිය කවුළු ස්ථානාධිපති තනතුරේ පුරප්පාඩු තුන්සියක් පමණ ඇති වී තිබෙන බවත්, මේ නිසා දුම්රිය මගීන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී සේවයේ යෙදී සිටින ස්ථානාධිපතිවරුන් හා මගී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බවත් දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කරයි.

සාමාන්‍යයෙන් දිනකට දුම්රිය ගමන් වාර 415ක් සිදුවිය යුතු බවත්, එහෙත් මේ වනවිට සිදුවන්නේ, ගමන් වාර 280ත් 300ත් අතර ප්‍රමාණයක් බවත් ධාවනය වන දුම්රියන් පවා සමහර අවස්ථාවල ක්‍ෂණිකව අවලංගු කරන බවත් දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කරයි.

මේ නිසා පවතින ගැටලු මූලික කර ගෙන ඕනෑම අවස්ථාවක දුම්රිය වර්ජනයන් සිදුවිය හැකි නිසා බලධාරීන් අඩුම් තරමින් දුම්රියන් අවලංගු නොකර සියලුම තැපැල් දුම්රියන් හා සාමාන්‍ය දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය කිරීමටවත් කටයුතු කළ යුතු බව එම සංගමය පැවසීය.

එසේම අනෙකුත් ගැටලු ක්‍රමාණුකූලව විසඳීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත්, ඉහළ පෙළේ බලධාරීන් විසින් ගැටලුවලට විසඳුම් ලබා නොදීම නිසා දුම්රිය සේවකයන් සේම මගී ජනතාවත් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බවත් එම සංගමය පැවසීය.