ගෘහස්ථ ශ්‍රමිකයා ආර්ථික අර්බුදයේ බිල්ලක් නොකරනු !

ගෘහස්ථ ශ්‍රමිකයා ආර්ථික අර්බුදයේ බිල්ලක් නොකරනු !

ප්‍රොටෙක්ට් සංගමය ලෙස අපි නිරන්තරයෙන් ම ගෘහස්ථ කම්කරුවාට සුනිසි රැකියාවක අයිතිවාසිකම දිනා දීමේ අරගලයේ පෙරටුගාමී කාර්යයයක් කරමින් සිටියෙමු. එය පාලකයන් විසින් සමස්ත ජනතාව ම ආර්ථික අර්බුදයක ගිල්ලවා සිටින මොහොතක දී වුව ද අපගේ ස්ථාවරයේ අංශු මාත්‍රයක හෝ වෙනසක් වී නොමැත. මන්ද ගෘහස්ථ ශ්‍රමිකයා ප්‍රමුඛ අවිධිමත් අංශයේ සමස්ත කම්කරුවන් මේ වන විටත් මෙම ආර්ථික අර්බුදයේ කර වටක් ගිලී හමාරය. මෙකී ආර්ථික බර නාසය පිටින් යන්නට මත්තෙන් ගෘහස්ථ කම්කරුවා ඇතුලු සමස්ත අවිධිමත් අංශයේ ම කම්කරුවන්ගේ ආර්ථිකය ආරක්ෂා කිරීමට රජයට බල කළ යුතුය. මන්ද ගෘහස්ථ ශ්‍රමිකයාත් අනෙකුත් යහපත් රැකියා කොන්දේසි භුක්ති විඳින සියලු ම කම්කරුවන් මෙන් යහපත් ජීවන තත්ත්වයක් ළඟා කර ගත යුතුය යන ස්ථාවරයේ සංගමයක් ලෙස අප සැම විටම සිටිනා නිසාවෙනි.

එහි දී ගෘහස්ථ ශ්‍රමිකයාට සිය රැකියාව මගින් සිය ජීවන අපේක්ෂා සාක්ෂාත් කොට ගත හැකි පරිසරයක් නිර්මාණය විය යුතුය. ඒ සඳහා ඔවුන්ට අවම වැටුප් කොන්දේසියකට යටත්ව සාධාරණ වැටුපකට හිමිකම් කීමටත්, රැකියාවේ දී සිය රැකියා ගැටලු ප්‍රකාශ කිරීමට ඇති නිදහසත්, සංවිධානය වීමට සහ තමා පිළිබඳ තීරණ ගැනීමට ඇති අයිතියත්, ආරක්ෂිත පරිසරයක සේවය කිරීමට ඇති හැකියාවත් ඇතුළු මානුෂීය අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි ගෘහස්ථ ශ්‍රමිකයන්ගේ රැකියාවේ ආරක්ෂණය තහවුරු කළ යුතුය යන ස්ථාවරයේ සංගමයක් ලෙස අප නිරන්තරව සිටී.

මන්ද උද්ගතත්ව ඇති ආර්ථික අගහිඟකම් මත ඉතා අඩු දෛනික වැටුපකට නිවෙස්වල සේවය කරන දහස් ගණනක් කම්කරුවන් අප හා නිරන්තරයෙන් සිය ජීවන් අත්දැකීම් බෙදා ගන්නා නිසාවෙනි. ඔවුන් විස්තර කරන රැකියා අත්දැකීම්වල බොහෝ විට ඔවුනට ඇත්තේ විශාල වැඩ කොටඩක් සහ දිනකට රුපියල් 300ක් හෝ 400ක් වැනි වැටුපකි. එය මේ මොහොතේ වෙළඳසැලේ කඩපිලේ හාල් කිලෝවක් පොල්, ගෙඩියක් ඇරෙන්න වෙනත් දෙයක් ගැනීමට ප්‍රමාණවත් නොවන තරම් ය. ඔවුනට ස්ථිර රැකියා කාලයක් නොමැත. අති කාල දීමනා නැත. සුළු වැටුපකට දිනකට දැරිය නොහැකි තරමේ වැඩ රාජකාරිය. ඇතැම් විට රැකියාව අතරතුරේ වන අනතුරුවලට ද වන්දියක් හෝ නැත. ඇතැම් විට හාම්පුතාගෙන් හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගෙන් වන හිරිහැරයන් සහ අතවරයන් ය. මේ සියල්ල ඉවසා දරා ගනිමින් ඔවුන් වෙහෙසෙන්නේ සිය පවුලේ ආර්ථිකය වෙනුවෙනි. මන්ද බොහෝ අවස්ථාවල පවුලේ සමස්ත ආර්ථිකය ම ඔසවාගෙන යන්නේ ගෘහස්ථ සේවයන් දෛනිකව ගන්නා සුළු වැටුපෙන් බව හොඳින්ම දන්නා සත්‍යයකි. එබැවින් රජය විසින් මොවුන් පහසුවෙන් මග හැර යන්නා පරිද්දෙන් ගෘහස්ථ කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිරන්තර පෙනී සිටින අප හට කිසි සේත් නිහඬව සිටිය නොහැක.

රටේ ජාතික ආදායමේහි අවිධිමත් අංශයේ පන්ගුවෙන් සැලකිය යුතු කොටසක් ම පුරවාලන්නේ අසූ දහසක් තරම් පමණ වූ ගෘහස්ථ කම්කරුවන්ගෙනි. එනිසා මෙම උද්දමනකාරී ආර්ථිකය තුළ ගෘහස්ථ ශ්‍රමිකයා, රජය විසින් නොසලකා හැරීම අප පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර, දහස් ගණනක් ගෘහසේවකයන්ගේ කුටුම්භවල ආර්ථික කඩා ඉහිරුවා ඔවුන් මහ මගට ඇද නොදමන ලෙස ද අප රජයට බල කොට සිටින්නෙමු.