ජාතික සත්වෝද්‍යාන සේවකයින්ගෙන් විරෝධයක්

ජාතික සත්වෝද්‍යාන සේවකයින්ගෙන් විරෝධයක්
ජාතික සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්වරිය ධුරයෙන් ඉවත්කරන ලෙස සහ පශු වෛද්‍යවරුන් ඉවත් කරන්නැයි ඉල්ලා දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සේවකයින් ඊයේ (18) සත්‍යග්‍රහයක් ආරම්භ කරන ලදී.
 
 විසඳුමක් ලැබෙන තෙක් සතුන්ට ආහාර ලබාදීම, සතුන් නෑවීම සහ රෝගී සතුන්ට ඖෂධ ලබාදීමේ රාජකාරීවලින් අද සිට ඉවත්වන බව ඔවුන් පවසයි.
 
ශ්‍රී ලංකා පොදුජන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු සේවක සංගමය සහ ජාතික සත්වෝද්‍යාන ක්‍රියාකාරි සේවක සංගමයේ සාමාජිකයින් ඊයේ පෙරවරු 9 ට මෙලෙස සේවයෙන්  ඉවත්ව විරෝධතාවයක් ආරම්භ කරන ලදී.
 
ඒ, දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් මියයාම සහ රෝගිවීම සම්බන්ධයෙන් සත්වෝද්‍යාන පශු වෛද්‍යවරුන් සහ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය සොයා නොබැලීම මෙන්ම අනතුරු සඳහා ලබාදුන් රුපියල් 5000 දීමනාව සියලු දෙනාට ලබාදෙන ලෙස ඉල්ලමිනි.
 
රෝගී සතුන් පිළිබඳව සොයා නොබැලීම නිසා මේ වන විට සතුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බව සත්වෝද්‍යානය සේවකයින් පෙන්වා දෙයි.
 
මෙම විරෝධතාවයට ප්‍රවේශපත් නිකුත් කරන්නන්ද සහාය පළකිරීම නිසා සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයින් සඳහා අද ප්‍රවේශ පත්‍ර ලබාදුන්නේ එහි ගණකාධීකාරිවරුන් සහ සහාය ගණකාරිකාරවරුන් විසිනි.
 
විරෝධතාකරුවන් පවසන්නේ, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කරන තුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි..
 
මේ අතර සත්වෝද්‍යාන සේවකයින් ඊයේ පස්වරුවේදී සත්‍යග්‍රහයක් ආරම්භ කළ අතර ඊට පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි ද එක්වුණි.
 
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ විරෝධතාවට සහාය දක්වමින්  හම්බන්තොට රිදීයගම රුහුණු සෆාරි උද්‍යානයේ සේවකයින්ද ඊයේ දහවල් කෑම පැයේදී විරෝධතාවයක නියැළී තිබේ.