මුල්ලේරියාව රසයනාගාරයේ මූල්‍ය වංචාව සොයන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි

mulleriyawa-hospital

මුල්ලේරියාව අණුකජීව රසායනාගාරයේ සිදුවී ඇති මූල්‍ය වංචාවන් කඩිනමින් විමර්ශනය කර මහජන මුදල් අවභාවිතා වී ඇත්නම් ඒ බව දැනගැනීමට සැලැස්වන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

  1. ඉහත රසායනාගාරය  2020 මැයි මාස ස්ථාපනය කර ඇති අතර, එහි සමරු ඵලකයේ සඳහන් වන පරිදි ඒ සඳහා රුපියල් මිලියන 250 ක් වියදම් කර ඇත. HSEP ප්‍රගති වාර්තා ලෙස නම්කර ඇති ලේඛණ මඟින්ද එය සනාථ කර ඇත.
  2. HSEP අධ්‍යක්ෂ සහ BGI සමාගම අතර 2020 මැයි මස 5 වැනි දින අත්සන් කර ඇති ගිවිසුම අනුව රසායනාගාර උපකරණ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 43 කි.
  3. එහිම PCR පරීක්ෂණ 30,000  සඳහා රුපියල් මිලියන 90 වියදම් කර ඇත.
  4. එහෙත් ඊට මාස කිහිපයකට පසුව එම PCR කට්ටල ප්‍රමාණයම රුපියල් මිලියන 45 කට අඩු මුදලකට මිලදී ගෙන ඇත.
  5. උපකරණ සහ PCR කට්ටල වල මුළු මුදල රුපියල් මිලියන 135 වන නිසා ඉතිරි රුපියල් මිලියන 115 ක ප්‍රමාණය රසායනාගාර ගොඩනැගිල්ල සඳහා වියදම් කර ඇති බවක් පෙනී යයි.

නමුත් ඉහත මුදල් ප්‍රමාණයන් ඒ අයුරින්ම වියදම් වී ඇත්දැයි යන්න පිළිබඳ විමර්ශනයක් වහාම සිදුකර එහි වාර්තාවක් කැඳවීම තුල මහජන මුදල් අවභාවිතා වී ඇතිද නැතිද යන වග පැහැදිලි කර ගැනීමටත් එකී වියදම් වල විනිවිදභාවය ආරක්ෂා කර ගැනීමටත් හැකියාව ලැබෙන බව අවධාරණය කර සිටිමු. තවද මේ කරුණට අදාලව පහත කරුණු පිළිබඳවද ඔබගේ අවධානය යොමු කරවමි

  • දෙවැනි වර රුපියල් මිලියන 45 කට මිලදී ගත් PCR කට්ටල ප්‍රමාණයටම පළමු මිලදී ගැනීමේදී රුපියල් මිලියන 90 ක් ගෙවා ඇති අතර රුපියල් මිලියන 45 ක අතිරික්තය කාගේ හෝ කොමිස් මුදල් බවට පත්වුයේද යන වග?
  • රසායනාගාර ගොඩනැගිල්ලෙහි නියම තක්සේරු වියදම කොපමණද? (මෙම ගොඩනැගිල්ල භාරදෙන අවස්ථාවේ යකඩ bar සහ යොදා ඇති පනෙල් මලකඩ කා තිබුණු පින්තුර අප සතුව ඇත)
  • මෙම ගොඩනැගිල්ලේ පරිශ්‍රය සැකසීමේ සියලු කාර්යයන් ශ්‍රීලංකා යුදහමුදා සෙබළුන් විසින් කර ඇති අතරම ප්‍රමාණයෙන් අඩි 60 x 30 x 12 වන මෙවැනි ගොඩනැගිල්ලක් තැනීමට රුපියල් මිලියන 10 ක වත් වැය නොවන බව අපගේ අදහසසි.
  • විනිවිදභාවයකින් තොර බව සක්සුදක් සේ පැහැදිලි වන මෙම කරුණු විගණන නිලදාරීන් ගේ අවධානයට ලක් නොවූයේ කෙලෙසකද යන වග?
  • HSEP විගණන කටයුතු කර ඇති නිලධාරීන් හට HSEP අධ්‍යක්ෂ සහ කලකට පෙර රේගුවේ සේවය කර ඇති මෙම ක්‍රියාවලිය මුලසිටම කළමනාකරණය කර ඇති ADB නිලධාරිණිය විසින් කොපමණ මුදලක් හෝ අල්ලස් ලෙස ගෙවා ඇත්ද යන වග?

වර්තමානයේ අප රට මුහුණ දී ඇති විදේශ විනිමය අර්බුදය හමුවේ ඉතා අපහසුවෙන් පවත්වාගෙන යන සෞඛ්‍ය සේවාවන් තවදුරටත් පවත්වා ගැනීම සඳහා ඉහත කරුණු සනාථ කරගැනීමටත්, ජනතා මුදල් ගසා කන නිළදාරීන්හට නිසි දඩුවම් ලබාදී, එවන් අයතා ලෙස උපයාගෙන ඇති මුදල් නැවත රජයට පවරා ගැනීමටත් කඩිනමින් කටයුතු කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.