වැඩබිම් අනතුරුවල කම්කරු වන්දිය රුපියල් ලක්ෂ විස්ස දක්වා ඉහළට

වැඩබිම් අනතුරුවල කම්කරු වන්දිය රුපියල් ලක්ෂ විස්ස දක්වා ඉහළට

වැඩබිම් වලදී සිදුවන අනතුරු හේතුවෙන් මිය යන සහ නිත්‍ය පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වන පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් සඳහා මෙතෙක් ගෙවූ කම්කරු වන්දි මුදල රුපියල් ලක්ෂ විස්ස දක්වා වැඩිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. ඒ අනුව, වැඩබිම් අනතුරකදී සිදුවූ මරණයකදී මෙතෙක් ගෙවූ වන්දි මුදල වූ රුපියල් 550,000 ක් වූ මුදල රුපියල් 2,000,000 දක්වා ඉහළ නැංවීමට පියවර ගැනෙයි.

සේවයේ යෙදී සිටියදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත්වන සේවකයන්ට ප්‍රතිලාභ සලසා දීම සඳහා  ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක නෛතික ප්‍රතිපාදනය වනුයේ 1934 අංක 19 දරණ සේවක වන්දි ආඥා පනතයි. මෙම පනත මගින් අනුමතව තිබූ වන්දි මුදල් ප්‍රමාණය 2005 අංක 10 දරණ  සංශෝධන පනත මගින් වැඩි කිරීමට පියවර ගනු ලැබුව ද වසර 16 කට පෙර නියම කරන ලද එම වන්දි මුදල සහ නෛතික ප්‍රතිපාදන ද වර්තමානයට නොගැලපෙන හෙයින් එම පනත වර්තමානයට ගැලපෙන සේ යාවත්කාලීන කිරීමේ අරමුණ ඇතිව මෙම නව සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත කඩිනමින් ඉදිරිපත් කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.

ඒ සඳහා කඩිනමින් පියවර ගැනීමට අවශ්‍ය බලය කැබිනට් මණ්ඩලය විසින් ලබාදීම මෙරට වැඩ කරන ජනතාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි.

අමාත්‍යවරයා කියා සිටියේ පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාවට ඉතාම වැදගත් මෙම පනත් සංශෝධනය “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් “රට වෙනුවෙන් වැඩ සංස්කෘතියක්” ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමක් බවයි. 1934 අංක 19 දරණ කම්කරු වන්දි ආඥා පනත සංශෝධනය කර සේවකයන්ට හිමිවිය යුතු වන්දි මුදල් ප්‍රමාණය ඉහළ නංවන බව එම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අවධාරණය කර ඇත.

Nimal Siipala

මෙම පනත සංශෝධනය කිරීමෙන් පසුව රැකියාව හේතුවෙන් සේවකයන්ට සිදුවන අනතුරුවලට අමතරව සේවකයා පදිංචි ස්ථානයේ සිට රැකියා ස්ථානයට යන අතරතුරේදී සහ රැකියාව නිමවී පදිංචි ස්ථානයට ආපසු යෑමේදී සිදුවන අනතුරු සඳහා ද වන්දි ලබා ගැනීමටත් වැඩකරන ජනතාවට අවස්ථාව උදාවෙයි. එසේම, මිය ගිය සේවකයකු වෙනුවෙන් වන්දි ලෙස තැන්පත් කරනු ලබන මුදලින් රුපියල් ලක්ෂය නොඉක්මවන මුදලක් ඔහුගේ අවමංගල්‍ය වියදම් දැරීම සඳහා ගෙවීමට අවශ්‍ය බලය කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වෙත පැවරීමටත් අධිකරණ සේවා කොමිසන් සභාව මගින් පත් කරනු ලබන රෙජිස්ටාර් තනතුරක් හඳුන්වා දීම මෙන්ම වන්දි අයකර ගැනීමේ කාර්ය පටිපාටිය කඩිනම් කිරීම සඳහා පවත්නා නීති රාමුව තුළ පිස්කල්වරයකු මගින් කොමසාරිස්වරයාට වන්දි අයකර ගත හැකි අයුරින් කාර්ය පටිපාටිය සකස් කිරීමටත් මෙම නව සංශෝධිත පනත මගින් අපේක්ෂිතය.

දෛනික සහ කෑලි ක්‍රමයට වැටුප් ලබන සේවකයින්ට ගෙවනු ලබන වන්දි ප්‍රමාණය ගණනය කිරීම, කම්කරු වන්දි ගෙවීමේදී අදාල කර ගන්නාවූ  අවම සහ උපරිම මාසික වැටුප තීරණය කිරීම සහ නිත්‍ය පූර්ණ සහ තාවකාලික බෙලහීනතාවයකදී ගෙවන වන්දි ප්‍රමාණය ඇතුළු කරුණු සියල්ලම පාහේ නව සංශෝධිත පනත මගින් යාවත්කාලීන කරන බව කම්කරු අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.