ලංකා බැංකුවේ හිටපු නියෝජ්‍ය මහ කළමණාකුරට විරුද්ධව අල්ලස් හා දූෂණ කොමිෂමට පැමිණිල්ලක්

ලංකා බැංකුවේ හිටපු නියෝජ්‍ය මහ කළමණාකුරට විරුද්ධව අල්ලස් හා දූෂණ කොමිෂමට පැමිණිල්ලක්

(හිටපු මහා කළමනාකරු ඩී. පී. කේ. ගුණසේකර මහතාට එරෙහිව අල්ලස් හා දූෂණ කොමිෂමෙන් පරීක්ෂණයක් පවත්වන බව ලංකා බැංකු සේවක සංගමය විසින් තම සාමාජිකයින් අතරේ බෙදාහරින ලද පත්‍රිකාවකින් උපුටාගන්නා ලදි)

ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරුවන්ගේ සේවය ඇගයීමක් ලෙස ඔවුන් විශ‍්‍රාම ගන්නා අවස්ථාවේ නිල රථයක් ලබා දීම සඳහා ක‍්‍රමවේදයක් 1999 මැයි මස 21 වන දින බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද අතර, 2001 ඔක්තෝම්බර් මස 17 වන දින නැවත අධ්‍යක්ෂ මණ්ඩලය එහි නියමයන් හා කොන්දේසි අලූත් කර ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත ක‍්‍රමවේදය පහත දැක්වේ.

01. නියෝජ්‍ය මහා කළමනාකාර ශ්‍රේණියේ වසර 01 ට වැඩි සේවා කාලයක් තිබිම

02. බැංකු සේවයේ වසර 25 ට වැඩි සේවා කාලයක් තිබිම

03. නියෝජ්‍ය මහා කළමනාකරුවන් වෙත අනුයුක්ත කරන ලද මෝටර් රථයේ ක්‍ෂය කරන ලද මිල හෝ මෝටර් රථය මිලට ගන්නා අවස්ථාවේ CIF වටිනාකමෙන් 10% ක වටිනාකමින් වැඩි මුදල අයකිරීම

ඉහත සඳහන් ක‍්‍රමවේදය මහා කළමනාකරුටද අදාළ බව එම අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියේ සඳහන්ව ඇත.

ඩී. පී. කේ. ගුණසේකර මහතා 2021 අගෝස්තු මස 16 වන දින මහා කළමනාකරු ලෙස විශ‍්‍රාම ගන්නා ලද අතර, ඔහු මහා කළමනාකාර ධූරයේ වසරකුත් මාස 02 ක කාලයක් සේවය කර ඇත.

ගුණසේකර මහතා 21/5/1999 සහ 17/10/2001 දිනැතිව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ ක‍්‍රමවේදය අනුව නිල වාහනයක් අත්පත් කරගැනීමට සුදුසුකම් ලද්දෙකි.

2016 වසරේ අගභාගයේ රු.11,900,000/= වටිනාකමට එවකට නියෝජ්‍ය මහා කළමනාකරුවකු වූ ඩී. පී. කේ. ගුණසේකර මහතාට ලියාපදිංචි අංක CAR - 2624 දරණ Nissan XTrail වර්ගයේ ජීප් රථයක් මිලදී ගෙන අනුයුක්ත කරන ලදි. ඉහතින් සඳහන් කළ ක‍්‍රමවේදයට අනුව ඩී. පී. කේ. ගුණසේකර මහතාට අත්පත් කර ගත හැක්කේ මෙම අංක CAR - 2624 දරන මෝටර් රථය වේ.

කෙසේ වෙතත්, ඩී. පී. කේ. ගුණසේකර මහතා තමන් විශ‍්‍රාම ගන්නා අවස්ථාවේදී මහා කළමනාකරු ලෙස සිය බලය අයුතු ලෙස භාවිතා කරමින්, අධ්‍යක්ෂ මණ්ඩලය නොමග යවා ඉහළ වටිනාකමකින් යුත් බැංකුවේ දේපලක් වූ Toyota Prado රථය තමන් සතු කරගනිමින් රු.40,000,000/= ඉක්මවූ අයුතු ලාභයක් අත්පත් කරගෙන ඇති බව වාර්තා වේ. මෙම අධ්‍යක්ෂ මණ්ඩල පත‍්‍රිකාවට කළමනාකාරිත්වය වෙනුවෙන් නිර්දේශය ලබාදී ඇත්තේද ගුණසේකර මහතා බව අප වෙත වාර්තා වී ඇත.

ඩී. පී. කේ. ගුණසේකර මහතා විසින් අයුතු ලෙස සිය බලය යොදා අත්පත් කරගන්නා ලදැයි වාර්තා වන වාහනය පිළිබඳ විස්තර පහත දැක්වේ.

ලියාපදිංචි අංකය                                    - wp CAT - 1553

මිලට ගත් දිනය                                      -      2017.02.28

CIF වටිනාකම                                      -   6,353,733.00

ආනයනික වටිනාකම (තීරු බදු සහිතව)     -  31,500,000.00

වත්මන් වෙළඳපොළ වටිනාකම (දළ වශයෙන්)     -  50,000,000.00

ගුණසේකර මහතා ගෙවු මුදල                             -  635,373.30

මේ පිළිබඳ ලංකා බැංකු සේවක සංගමය අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කරන ලදි. ඒ පිළිබඳ මේ වන විට පරීක්ෂණ අරඹා ඇත. ඒ අනුව, 2021.12.29 වන දින අල්ලස් හා දූෂණ කොමිෂම මගින් සාක්ෂි සටහන් කරගැනිම සඳහා සංගමය කැඳවන ලදි.

ඒ අනුව, ඉදිරියේදී පරීක්ෂණ කටයුතු තුළින් අයථා ලෙස අවිධිමත් පවරා ගැනීමක් සිදුවී ඇති බවට ගම්‍ය වන්නේ නම්, ඊට එරෙහිව නිත්‍යානුකූල කටයුතු ආරම්භ කරනු ඇත.

බැංකුව තුළ සිදුවී ඇති තවත් මෙවැනි අක‍්‍රමිකතා ගණනාවක් පිළිබඳ මේ වන විට අදාළ සියලූ පාර්ශව වෙත පැමිණිලි කිරීමට සංගමය කටයුතු කර ඇත. ඉදිරීයේදී ඊට අදාළව ආරම්භ වන පරීක්ෂණ තුළින් රටේ මහජන මුදල් කුමන හෝ පුද්ගලයකු විසින් අවභාවිතයට ලක්කර ඇති බව තහවුරු වන්නේ නම්, ඊට සමපාතව විපාකයන්ද විඳීමට සිදුවන බව අවධාරණය කරමු.

එබැවින්, තම රාජකාරි නිසිලෙස ඉටු කිරීමට කිසිවිටකත් පසුබට නොවන ලෙසත්, බලපෑම්වලට යටත් වී තම රැකියාව අවධානමට ලක්කර නොගන්නා ලෙසත් සේවක මණ්ඩලයේ සියලූ දෙනාහට අවධාරණය කර සිටිමු. ලංකා බැංකු සේවක සංගමය හැමවිටම බැංකුව රකිමින් සේවක අයිතිවාසිකම් දිනාගැනීමේ ප‍්‍රතිපත්තිය සුරකිමින් කටයුතු කරන අතර, බැංකුවේ පැවැත්මට හානිවන ආකාරයේ  ඕනෑම ක‍්‍රියාවකට හෝ පුද්ගලයන්ට එරෙහිව කොන්දේසි විරහිතව ක‍්‍රියාත්මක වන බවද අවධාරණය කරමු.

බැංකුව රකිමු - අපි රැකෙමු !

 ලංකා බැංකු සේවක සංගමය දිගුකල් දිනේවා !